සයුරෙන් එතෙර
පාකිස්තාන අගමැති මුහුණදුන් අකරතැබ්බය
December 13, 2025 01:58 pm
මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන ටර්ක්මෙනිස්තානයේ පැවැති ජාත්‍යන්තර සමුළුවක් අතරතුර පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් මුහුණ දුන් සිදුවීමක් මේ වන විට ලොව පුරා අවධානයට ලක්ව ඇත.
එරට අෂ්ගබාත් අගනුවර පැවැති එම සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් සහභාගී වූ අතර එහිදී පාකිස්තාන අගමැතිවරයා සහ රුසියා ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික හමුවක් ද සූදානම් කර තිබුණි.
කෙසේ වෙතත් එම ද්විපාර්ශ්වික හමුව පැවැත්වීමට නියමිතව තිබූ ශාලාවට පාකිස්තාන අගමැතිවරයා පැමිණ විනාඩි 40ක පමණ කාලයක් රැඳී සිටිය ද ජනාධිපති පුටින් එහි නොපැමිණි බවයි වාර්තා වේ.
ඒ වන විට පුටින් ජනාධිපතිවරයා අසල පිහිටි ශාලාවක තුර්කි ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක නිරත වෙමින් සිට තිබුණි.
පුටින් ජනාධිපතිවරයාගේ පැමිණීම ප්‍රමාද වීමෙන් නොඉවසිල්ලට පත් පාකිස්තාන අගමැතිවරයා පසුව අනාරාධිතවම රුසියා සහ තුර්කි ජනාධිපතිවරුන්ගේ හමුව පැවැති ශාලාවට ඇතුළු වන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විනාඩි 10ක පමණ කාලයක් එහි ගත කිරීමෙන් පසුව අගමැති ෂරීෆ් පසුව එම ස්ථානයෙන් පිටවී ගිය බව ද සඳහන් වේ.
