ගැලණිගම - කහතුඩුව අතර අධිවේගී මාර්ගයේ නායයෑමේ අවදානමක්
November 28, 2025 05:01 pm
පවතින වැසි සහ ආපදා තත්ත්වය හේතුවෙන් ගැලණිගම සහ කහතුඩුව අතර අධිවේගී මාර්ගයේ නායයෑමේ අවදානමක් ඇති විය හැකි බැවින් එහි මං තීරුවක් තාවකාලිකව වසා දමා තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12.5 බද්දේගොඩ ප්රදේශයේ ගැලණිගම සහ කහතුඩුව අතර පැති බැම්ම ඉරිතලා නාය යාමේ අවදානමක් පවතින බැවින් මාර්ගයේ මං තීරුවක් මෙලෙස තාවකාලිකව වසා දමා ඇති බවය.
කොළඹ දෙසට දිවෙන මං තීරුවේ පැති බැම්මේ මෙම ඉරි තැලීම සිදුව ඇති අතර ඒ හේතුවෙන් එම ප්රදේශයේ වම් මං තීරුවේ මීටර් 300ක ප්රමාණයක් මෙලෙස ආරක්ෂිත විධිවිධාන ක්රම උපයෝගී කර ගනිමින් තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
මේ වන විට පැති බැම්මේ ඉරි තැලීම සිදුවූ කොටස ඉටිකොල වලින් ආවරණය කර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් සහ තාක්ෂණ නිලධාරීන් ඒ අවට සහ අධිවේගී මාර්ගයේ සියලුම පැති බැමි අධීක්ෂණය කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
