ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබූ  තාවි සමරවීර දිවයිනට

ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබූ තාවි සමරවීර දිවයිනට

November 16, 2025   06:20 pm

ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලාංකිකයෙකු එතෙක් මෙතෙක් පැමිණි ඉහළම ස්ථානය ලබාගත් ක්‍රීඩකයා බවට පත් වූ තාවි සමරවීර සිය යුරෝපා සංචාරය අවසන්කර අද (16) දහවල් යළි දිවයිනට පැමිණියේය.

අදාළ තරගාවලියේ ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ජාත්‍යත්නර මේසපන්දු ශ්‍රේණිගතකිරීම්හි අවුරුදු 11න් පහළ වයස් කාණ්ඩයේ මේ වනවිට ලොව 3වන ස්ථානයේ රැඳී සිටියි.

ඔහු ඉතාලියේ පැවති ලෝක කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ දී රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

ඉන් අනතුරුව ස්ලෝවෙකියාවේ සහ හංගේරියාවේ පැවති මේසපන්දු තරගාවලි දෙකකදී ලෝකඩ පදක්කම් දිනාගත්තේය.

හංගේරියාවේ දී ලෝක ශූර පෝලන්ත ක්‍රීඩකයා පරාජයට පත් කිරීමත් සමග ටාවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයට පැමිණීමට හැකිවිය.

තාවිගේ පියාවන හසිත සමරවීර මෙන්ම ඔහුගේ මව ද මේසපන්දු පුහුණුකරුවන්ය.

තාවි මෙම 2025 වසර තුළදී පමණක් රන් පදක්කමක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ලෙස ලෝක මට්ටමේ තරගාවලිවලදී පදක්කම් 10ක් දිනාගෙන සිටී.

තාවි ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු වේ.