නීතිවිරෝධිව වත්කම් ඉපැයූ කාන්තාවකගේ දේපොළ ක්‍රියා විරහිත කෙරේ

නීතිවිරෝධිව වත්කම් ඉපැයූ කාන්තාවකගේ දේපොළ ක්‍රියා විරහිත කෙරේ

November 13, 2025   08:53 pm

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් සිදු කර එමගින් වත්කම් උපයා ගෙන ඇති බවට ඇහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ මාහින්ගොඩ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයාගේ බිරිඳ විසින් නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදල් යොදවා රුපියල් කෝටි 03ක් වූ ඉඩම් කැබලි තුනක් සහ ඇහැලියගොඩ රත්නපුර මාර්ගයට යාබදව පර්චස් හයක ඉඩම් කොටසක් මිලදී ගෙන කඩ කාමරයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවය.

ඒ අනුව නීතිවිරෝධී ලෙස වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ නමින් මිලදී ගෙන ඇති දේපොළ, මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව දින 07ක් දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 45ක් වන මාහින්ගොඩ, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.