ප්‍රාදේශීය සභා උණුසුම් කළ මංගල අයවැය
November 11, 2025 08:07 pm
කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය අද (11) එහි මංගල අයවැය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය.
2026 වසර සඳහා පළාත් පාලන ආයතනවල අයවැය ඉදිරිපත් කිරීම් මේ දිනවල සිදුවෙයි.
ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ අයවැය අද සභාවට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.
එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් හය දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙද්දී විපක්ෂය නියෝජනය කරන සියලු සභිකයින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද හතරකින් අයවැය පරාජයට පත්වුණි.
මේ අතර පාලක ජාතික ජන බලවේගයට සභික ධුර 10ක් සහ විපක්ෂයට සභික ධුර 12ක් හිමි පුත්තලම - ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ද අද පැවැත්වුණි.
එහිදී විපක්ෂයේ සභිකයින් 11 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරද්දී ජාතික ජන බලවේගය හා එක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන් ඡන්ද ප්‍රමාණය සම තත්ත්වයට පත්වුණි.
ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිය තීරක ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිවූ අතර එහිදී අයවැය සම්මත කරගැනුණි.
මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ අයවැය ද සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් සම්මත කරගැනුණි.
ජාතික ජන බලවේගයට සභික ධුර නවයක් සහ විපක්ෂයට සභික ධුර දහයක් හිමිව තිබුණද එක්සත් ජාතික පක්ෂයේ සභිකයා සභා රැස්වීමට සහභාගී වී සිටියේ නැත.
ඒ අනුව පක්ෂව සහ විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය සමාන වීම හේතුවෙන් සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය සම්මත කරගැනුණි.
මේ අතර පාලක ජාතික ජන බලවේගයට සභික ධුර 9ක් සහ විපක්ෂයට සභික ධුර 11ක් හිමි හලාවත නගර සභාවේ අයවැය වැඩි ඡන්දයකින් සම්මත වුණේ ස්වාධීන කණ්ඩායමක සභිකයෙකු අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන්ය.
ජාතික ජන බලවේගයේ සභිකයින් 9 දෙනාට අමතරව ස්වාධීන කණ්ඩායම් සභිකවරියක්ද අයවැයට පක්ෂය ඡන්දය ලබාදීමත් සමඟ එක් වැඩි ඡන්දයකින් අයවැය සම්මත කරගැනීමට ජාතික ජන බලවේගයට හැකිවුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයා මෙහිදී ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.
මේ අතර නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද වැඩි ඡන්ද 14කින් සම්මත කරගැනීමට එහි බලය හිමි ජාතික ජන බලවේගයට හැකිවුණි.
ඒ අයවැයට පක්ෂව පොදුජන එක්සත් පෙරමුණේ සභිකයින් තිදෙනෙකු,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයෙකු සහ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරන සභිකයෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන්ය.
මේ අතර මතුගම ප්‍රාදේශිය සභාවේ ලේකම්වරියගේ ක්‍රියා කලාපයට සහ වැලිගම ප්‍රාෙද්ශීය සභාවේ සභාපති ඝාතන සිද්ධියට විරෝධය පළකරමින් එහි බලය හිමි සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක සභිකයින් අද විරෝධතාවක නිරත වුණි.
ඔවුන් චෝදනා කළේ ප්‍රදේශිය සභාවේ රාජකාරි කටයුතු සිදු කරගෙන යාම සඳහා එහි ලේකම්වරිය සභාපතිවරයාට නිසි සහයෝගයක් ලබා නොදෙන බවටය.
කෙසේවෙතත් මෙම සභිකයින් ප්‍රාදේශීය සභාව තුළට පිවිසීමට පෙර පොලීසියේ පරීක්ෂාවට ලක්කිරීමේදී විරෝධතා පුවරු අතර තිබී ප්ලාස්ටික් පිස්තෝලයක් හමුවුණි.
මේ අතර, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පුත්තලම - නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රිවරුන් කළු පැහැති ඇඳුම්වලින් සැරසී අද එහි මාසික සභා රැස්වීමට පැමිණ සිටියේය.
