උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට දැනුවත් කිරීමක්
November 9, 2025 11:25 am
හෙට පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය තරමක් අසීරු විභාගයක් වන බවත් එයට සාර්ථකව මුහුණ දීමට නම් මෙම අවස්ථාවේ මනස ඒකාග්‍රතාවයෙන් තබා ගැනීම වැදගත් බවත් රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පවසයි.
එහිදී ඔහු සඳහන් කර සිටියේ විභාගයට මුහුණ දෙන සියලු සිසු සිසුවියන් අද දිනයේ දී හිත සන්සුන් කරන ව්‍යායාමක් සිදු කිරීමට පෙළඹෙන්නේ නම් මනස සන්සුන් කර ගැනීමට හා මතකට අවදි කර ගැනීමට එය වඩාත් යෝග්‍ය වන බවය.
එමෙන්ම අතීතය ගැන සිතමින් පසුතැවිලි වීමට කාලය නාස්ති නොකරන ලෙසත් විභාගයේ ප්‍රතිඵලය කුමක් වේ දැයි අනාගතය ගැන සිතමින් දුක් නොවීමට වග බලාගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
එහිදී වෛද්‍යවරයා සඳහන් කර සිටියේ විවිධ පුද්ගලයින් ලබා දෙන හදිසි උපදෙස් පිළිගෙන මෙම අවස්ථාවේ තමන්ගේ ක්‍රමය වෙනස් කිරීම සිදු නොකරන ලෙසය.
එහිදී අදහස් දැක්වූ රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා,
''මේ විභාගය තරමක් අසීරු විභාගයක් බව අපි කවුරුත් දන්නවා නමුත් මේ වෙලාවේ හිත ඒකාග්‍රව තබාගෙන්න අවශ්‍යයි විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න.. එමෙන්ම පසුගිය දේවල් ගැන පසුතැවිලි වීමෙන් වළකින්න... පාඩම් කරගන්න බැරි වෙච්ච පාඩම් ගැන යන්න බැරි වෙච්ච පන්ති ගැන සිතලා පසුතැවෙන්න එපා.. ඒ වගේම අනාගතය ගැන හිත හිත කාලේ නාස්ති කරන්න එපා. විභාගයේ ප්‍රතිඵලය මොකක් වෙයිද ගෙදර කට්ටිය මොන විදිහට ප්‍රතිචාර දක්වයිද? අතීතයේ සහ අනාගතය ගැන පසුතැවිලි වෙන්නේ නැතුව මේ මොහොතට සිත ඒකාග්‍ර කරගන්න. ඔබේ මතකය හොඳින් අවදි කර ගන්න. විභාග දිනයට කලින් අද දවසේ ඒ කියන්නේ අද දවසේ හිත සන්සුන් කරන ව්‍යායාමක් කරන එක වඩාත් හොඳයි. හෙට විභාගය කියලා එක එක පුද්ගලයන් අනුමාන කරලා හදිසියේ දෙන උපදෙස් වලින් ඔබේ ක්‍රමය වෙනස් කරගන්න එපා. ඒ වගේම හෙට විභාගයට අවශ්‍ය කරන ලියකියවිලි ආදී හැමදේම අදම ලෑස්ති කර ගන්න ඒකට හෙට දවසේ වේලාව වෙන් කරන්න එපා.. දෙමාපියන්ට දෙන්න තියන උපදේශය තමා දරුවන්ට බනින්න යන්න එපා එයාලා ලොකු පීඩනයක ඉන්නේ ඒක වැඩි කරන්න එපා. ඒ අයට සහාය දෙන්න.. මෙය තවත් විභාගයක් තමයි විභාගය සමත් වුණොත් ජීවිතය පහසු වෙනවා වගේම තමයි මේ විභාගය පාස් වෙන්න බැරි වුනොත් ඔබට ඉදිරියට යන්න විවිධ මාර්ගවලින් ඉදිරියට යන්න අවස්ථා ලැබේවි.. ඒ නිසා අනවශ්‍ය පීඩනයක් එකතු කරගන්න එපා..''
