ඊශ්‍රායලයේ විදෙස් සංක්‍රමණිකයින්ට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ජල ප්‍රහාර

ඊශ්‍රායලයේ විදෙස් සංක්‍රමණිකයින්ට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ජල ප්‍රහාර

November 7, 2025   07:12 am

ඊශ්‍රායලයේ සේවය කරන විදෙස් සංක්‍රමණිකයින් ඉලක්ක කර රසායනික ද්‍රව්‍ය මුසු ජල ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබේ.

දින කිහිපයක සිට සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන මෙම ජලය මුසු රසායනික ද්‍රව්‍ය ප්‍රහාරයන් පිළිබඳව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අවධානය යොමුව ඇති බව සදහන්. 

කුඩා පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායම් විසින් තනිව ගමන් ගන්නා විදේශීය සංක්‍රමණික සේවකයින් ඉලක්ක කර දියරමය  ප්‍රහාර දියත් කර ඇති බවත්, එසේ ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව මේ පිළිබඳව ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යංශය හා ජනගහන හා ආගමන අධිකාරිය හෙවත් පිබා (PIBA) ආයතනය දැනුම්වත් කර ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශ සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව විධිමත් පියවර ගන්නා මෙන් ඉල්ලා සිටි බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සඳහා එකතුවී සිටි වයස අවුරුදු 13ත් 19ත් අතරේ පසුවන තරුණයන් 5 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන දින 6ක් බන්ධනාගාර කර ඇත.

එමෙන්ම අනෙකුත් සිද්ධීන් පිළිබඳව CCTV කැමරා මගින්  ලබාගත් තොරතුරු ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව සදහන්.

මෙම තත්ත්වය පිළිබඳව ඊශ්‍රායල ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇත.

ඒ අනුව තත්ත්වය සමනය වන තෙක් වැටුප් ශ්‍රී ලංකාවට යැවීමට ගමන් කිරීමේ දී හැකි සෑම අවස්ථාවකදීම කණ්ඩායමක් ලෙස ගමන්කිරීම, තමන් සතු මුදල් පසුම්බිය හා ආභරණ ආදිය  සුරක්ෂිතව තබාගෙන ගමන් බිමන් යාම, දුරකථන අරක්ෂිතව තබාගැනීම හා මාර්ගවල ගමන්කරන විට දුරකථන භාවිතා නොකරන ලෙස ඉල්ලා තිබේ.

තවද ඕනෑම හදිසි අවස්ථාවක ඊශ්‍රායල් පොලිසියේ සිවිල් කටයුතු පිළිබඳව හදිසි අංකය වන අංක 100 අමතා සිදුවීම හා තමන් සිටින ස්ථානයේ තොරතුරු ඔවුනට ලබාදීම සිදුකරන ලෙසත් තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත.

මේ අතර ප්‍රතිකාර අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඊශ්‍රායල ගිලන් රථ සේවාව  සඳහා ඇමතීමට අංක 101  භාවිතා කිරීම මෙන්ම ඕනෑම හදිසි උපකාරයක් සඳහා තානාපති කාර්යාල ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙස නිමල් බණ්ඩාර මහතා පැවසීය.