මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති අත්හිටුවීමට අනුමැතිය
November 4, 2025 02:21 pm
මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබේ.
ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම් දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දුපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.
ජනාධිපතිවරයාගේ එම දැනුම් දීම බලශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර ඇති අතර ඵ් අනුව කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබේ.
දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් (03) සැලසුම් කර තිබුණි.
එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කරනු ලැබ ඇති අතර අනෙක් ව්‍යාපෘති වන Windscape Mannar (Pvt) Ltd මෙගාවොට් 20ක සුළං විදුලි ව්‍යාපෘතියේ සහ Hayleys Fentons මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු පිළිවෙලින් 2025 දෙසැම්බර් මස සහ 2026 දෙසැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.
					