තායිලන්ත - කාම්බෝජ සාම ගිවිසුම් අත්සන් කිරීමට ට්‍රම්ප් මැලේසියාවට

තායිලන්ත - කාම්බෝජ සාම ගිවිසුම් අත්සන් කිරීමට ට්‍රම්ප් මැලේසියාවට

October 26, 2025   07:33 am

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම් අත්සන් කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් මැලේසියාවට පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මැලේසියාවේ සිටින අතරතුර අමෙරිකානු ජනාධිපතිවරයා අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සමුළුවකට ද සහභාගී වීමට නියමිත බවය.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන් කාම්බෝජය සහ තායිලන්තය අතර ආඩම්බරයෙන් මැදිහත් වූ ශ්‍රේෂ්ඨ සාම ගිවිසුම අත්සන් කිරීම සඳහා පැමිණෙන බවය.

එමෙන්ම මේ වන විට තායිලන්තයේ මව් රැජිනගේ අභාවය සම්බන්ධව තමන් කණගාටු වන බවත් සඳහන් කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් පැමිණි වහාම සාම ගිවිසුම අත්සන් කිරීම සඳහා කටයුතු කරන බවය.

මතභේදාත්මක දේශසීමා ප්‍රදේශයක් වූ නැගෙනහිර තායිලන්තයේ තා මෝන්තොම් නම් ආගමික ස්ථානය ආශ්‍රිත දේශ සීමාවේ  තායිලන්ත හමුදාව හා කාම්බෝජ හමුදාව අතර සිදුවූ ගැටුමක් පසුව වෙඩි හුවමාරුවක් දක්වා දුරදිග ගියේ පසුගිය ජූලි මාසයේදීය.

එම වෙඩි ප්‍රහාරවලින් තායිලන්ත සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් තායිලන්ත හමුදා සාමාජිකයින් දෙදෙනෙකුද තුවාල ලැබීය.

එම යුද ගැටුම දුරදිග යාමෙන් තායිලන්තයේ හමුදා සාමාජිකයින් ඇතුළු 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබුණි.

මෙම ගැටුම් දුරදිග යාමෙන් පසුව තායිලන්තය සහ කාම්බෝජය අතර පසුගිය ජූලි මාසයේදී සාම සාකච්ඡා පැවැති අතර ඒ අනුව දෙපාර්ශ්වය ක්ෂණික සහ කොන්දේසි විරහිත සටන් විරාමයකටද එකඟ විය.

එම සාම සාකච්ඡා පැවැත්වූයේද මැලේසියාවේදී වන අතර ඒ සඳහා මැලේසියාවේ අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම්ද එක්විය.