රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන කරුණු හෙළිවෙයි
October 25, 2025 10:16 pm
රත්මලානේ දී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.
අදාළ වෑන් රථය ප.ව. 5.25ට පමණ පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත රථවාහන නිලධාරීන් රථය නවතන ලෙස දැනුම් දී ඇත.
කෙසේ නමුත් එම රථය අණ නොතකා ඉදිරියට ධාවනය වී ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් පසුපස හඹා ගොස් තිබේ.
එහිදී රත්මලාන බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලීසිය වෙඩිතබා ඇති අතර, එහිදී ද රථය නොනවත්වාම ධාවනය කර ඇත.
කෙසේ නමුත් රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී වෑන් රථයේ රියදුරු රථය නවත්වා පලායෑමට උත්සාහ දරා තිබේ.
එහිදී ඔහු බිම ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් 1990 ගිලන්රථ සේවාව මගින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.
පොලීසිය විසින් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් බවය.
මෙම වාහනය පිළියන්දල සිට රත්මලාන දුම්රියපොළ අසල දක්වා ගමන්කිරීමේදී මාර්ගයේ ධාවනය කරන ලද රථ වාහන කිහිපයක් ද අනතුරට ලක්කරමින් පැමිණ ඇති බවටද මේ වනවිට තොරතුරු අණාවරණය වී ඇත.
ඉහත වාහනයේ ලියාපදිංචි අයිතිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.
