වැලිගම සභාපතිගේ දේහය නිවසට රැගෙන එයි

වැලිගම සභාපතිගේ දේහය නිවසට රැගෙන එයි

October 23, 2025   11:08 am

වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මේ වනවිට මිදිගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

ඊයේ (22) රාත්‍රීයේ ඒ මහතාගේ දේහය නිවසට රැගෙන විත් තිබුණි.

සභාපතිවරයාගේ දේහය ඉදිරියේ "අනේ මගේ රන්කඳ මාව දාලා යන්න එපා...මට දරාගන්න අමාරුයි. හිත හදාගන්න එක පාරක් මට කතා කරන්න. මම කොච්චර ආදරෙන් ද මෙයාව බලාගත්තේ. මට මෙච්චර වේදනාවක් දීලා ගියා. අනේ මගේ රන්කඳ එන්නකෝ මා ළඟට එකපාරක්...මම එනකල් පොඩ්ඩක් පණ අල්ලගෙන ඉන්න තිබුණානේ..." යනුවෙන් හඬා වැළෙපෙමින් ඔහුගේ බිරිඳ සංවේදී වන අයුරු 'අද දෙරණ' කැමරාවේ සටහන්ව තිබුණි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ (22) උදෑසන 10.30ට පමණ සභාපතිවරයා ඔහුගේ කාර්යාලය තුළ පුටුව මත දීම වෙඩි තබා ඝාතනය කෙරුණි.

සභාපතිවරයාගේ නිල කාමරය තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මහජන දිනයක් වූ බැවින් ඔහුව හමුවීම සඳහා මහජනතාවට වෙලාව වෙන් කර තිබූ බව පොලීසිය පවසයි.

එහිදී වෙඩික්කරු ද සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සුදුපැහැති ඇඳුමකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැළඳ ඔවුන් අතර රැඳී සිට තිබුණි.

ඒ අතරතුර කාන්තාවක් සභාපතිවරයාගේ නිලකාමරයට ගොස් ඔහු ලවා ලිපියක් අත්සන් කරගෙන පිටතට පැමිණීමේදී වෙඩික්කරු නිල කාමරය තුළට ඇතුළුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව වෙඩික්කරු යතුරුපැදියකින් පලාගොස් තිබේ.

සභාපතිවරයාගේ හිසට හා ගෙලට වෙඩි ප්‍රහාර 4ක් එල්ල වී තිබුණු බව පොලීසිය පැවසීය.