ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ දත්ත රැස්කරන්නැයි උපදෙස්

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ දත්ත රැස්කරන්නැයි උපදෙස්

October 22, 2025   11:48 am

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ දත්ත රැස්කිරීමට කටයුතු කරන ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව මගින් නිලධාරීන්ට උපදෙස් ලබා තිබේ.

ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සොයාබැලීම  සඳහා වන එම  අනු කාරක සභාව  එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දෙන ලදී.

රට පුරා ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ ගෙවීමට පවතින හිඟ මුදල් පිළිබඳ දත්ත රැස් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස නුවරඑළිය, මඩකලපුව, පොළොන්නරුව සහ කොළඹ යන දිස්ත්‍රික්කවල හැටන්, දකුණු කෝරලයිපත්තු, වැලිකන්ද සහ වැල්ලවත්ත යන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල දත්ත රැස් කිරීමට සැලසුම් කර ඇති බව අනුකමිටුවේ සභාපතිවරිය  සඳහන් කළාය. 

ඒනුව එම  තොරතුරු රැස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

මෙහිදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන් සහන සැලසීම හෝ එම ගැටලුවෙන් ඔවුන් මුදා ගැනීමට මැදිහත් වන්නේ කෙසේද යන්න පිළිබඳව  දීර්ඝ ලෙස  සාකච්ඡා විය. 

මේ වනවිටලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන 34ක් කැඳවා ඔවුන් සමග සාකච්ඡා කර අදාළ ණය කරුවන්ට ලබාදිය හැකි සහන සම්බන්ධයෙන්  ගතහැකි පියවරයන් මොනවා ද යන්න විමසීමටද මෙම  රැස්වීමේදී තීරණය විය.