රේගුවේ සිරවී ඇති ලුණු තොග ප්‍රතිඅපනයනය  කරන්නැයි ආනයනකරුවන්ට දැනුම්දීමක්

රේගුවේ සිරවී ඇති ලුණු තොග ප්‍රතිඅපනයනය කරන්නැයි ආනයනකරුවන්ට දැනුම්දීමක්

October 18, 2025   09:10 pm

ගැටළු සහගත තත්ත්වයන් හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින ලුණු මෙට්‍රික් ටොන් 23,500ක තොගයක් ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආනයනකරුවන් වෙත දැනුම් දී ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

ලුණු ආනයනය කිරීමට අවසර ලබාදුන් කාලසීමාවෙන් පසු මෙරටට ගෙන්වන ලද හා ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු මතුවූ ලුණු තොගයක් මෙලෙස රේගුව විසින් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා දින ගණනාවක සිට කොළඹ වරායේ පවතින බව සඳහන් වේ.

රට තුළ ඇති වූ ලුණු හිඟයට විසඳුම් ලෙස ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ සඳහා රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයට ද අවසර ලබාදී තිබුණි.

කෙසේවෙතත් ඒ සඳහා ලබාදී තිබූ කාලසීමාව පසුගිය ජුනි මස 10 දිනෙන් අවසන් වූ අතර එම දිනයෙන් පසුව මෙරටට ගෙන්වූ සහ ප්‍රමිතිය පිළිබඳ ගැටළු මතුවු ලුණු තොගයක් මෙලෙස රේගුවේ පවතින බව සඳහන් වේ.

ලුණු ආනයනයට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත දිනයෙන් පසු ආනයනය කරනු ලබන ලුණු තොග යළි ප්‍රතිඅපනයනය කළ යුතුව පවතින බැවින් මෙම ලුණු තොග ප්‍රතිඅපනයනය සඳහා පියවර ගන්නා ලෙස රේගු දෙපාර්තමේන්තුව ආනයනකරුවන් වෙත දැනුම් දී ඇත.

එම දැනුම් දීම අනුව ඔවුන් කටයුතු නොකරන්නේ නම් අදාළ ලුණු තොගය රාජසන්තක කර විනාශ කිරීමට කටයුතු කරන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ලුණු මෙට්‍රික් ටොන් 6,000ක තවත් නෞකාවක් ද නඩු කටයුත්තක් හේතුවෙන් මේ වන විට ත්‍රිකුණාමලය වරායේ රඳවා ඇති බව සඳහන් වේ.

ආනයනය සඳහා අවසර ලබාදුන් දිනයෙන් පසුව ගෙන්වන ලද මෙම ලුණු තොගය, දින වෙනස් කර රේගුවට ඉදිරිපත් කිරීමට ගත් උත්සහයක් හේතුවෙන් මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව රේගු දෙපාර්තමේන්තුව පැවසුවේය.