කැනේඩියානු විදේශ ඇමති මෝදි හමුවෙයි
සයුරෙන් එතෙර

කැනේඩියානු විදේශ ඇමති මෝදි හමුවෙයි

October 14, 2025   04:09 pm

ඉන්දියාවේ සංචාරයක නිරත කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය අනිතා ආනන්ද් නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඉන්දු - කැනේඩියානු ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයට නව ජවයක් ලබාදීම සඳහා අඛණ්ඩව දරන උත්සාහයන්ට ඇයගේ සංචාරය දායක වනු ඇති බවය.

එම හමුව සම්බන්ධයෙන් සිය x ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් මෝදි පැවසුවේ කැනඩාවේ විදේශ අමාත්‍ය අනිතා ආනන්ද් ඉන්දියාවට සාදරයෙන් පිළිගත් බවය. 

එහිදී ද්විපාර්ශ්වික වර්ධනය සහ සමෘද්ධිය සඳහා වෙළඳාම, තාක්ෂණය, බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ ජනතාව අතර සහයෝගීතාව යන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ ක්‍රම සාකච්ඡා කළ බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

කැනේඩියානු විදේශ අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ, කැනඩාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සංවාදය පවත්වා ගනිමින් සහ ආර්ථික සම්බන්ධතාවය පුළුල් කරමින් ද්විපාර්ශ්වික හවුල්කාරීත්වය ඉහළ නංවන බවය.