කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ හිඟ වරිපනම් බදු ගැන කෝපා කමිටුවේ දී හෙළිදරව්වක්
October 12, 2025 08:39 am
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ හිඟ වරිපනම් බදු ලෙස රුපියල් බිලියන 4කට අධික ප්‍රමාණයක් තවමත් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ.
ඒ පසුගියදා කොළඹ මහ නගර සභාව පසුගියදා කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ දීය.
එහිදී කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මහනගර සභාවේ නිලධාරීන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න යොමුකරමින් අසා සිටියේ, "ගියපාර පෙබරවාරි මාසයේදී දුන් නිර්දේශවලින් එකක් තමයි මිලියන 610ක හිඟ වරිපනම් එකතු කිරීමක් තිබුණා කොටුව කොට්ඨාසයෙන් පමණක්. එතනදි තීරණය කරලා මහ නගර සභාවම එකඟ වුණා එදා ඒ කොට්ඨාසවල තිබෙන හිඟ මුදල් එකතුකිරීමේ ප්‍රවනතාවය වැඩි කරනවා කියලා. හැබැයි මිලියන 53ක ගාණක් ජුනි මාසය වන විට එකතුවෙලා තිබුණේ. දැන් වෙනකොට වැඩි වුණාද දන්නේ නැහැ. එකක් තමයි ඒ එකතුකිරීමේ ප්‍රවණතාවයේ ප්‍රශ්නය. දෙක සමස්ත හිඟ මුදල මිලියන හාරදහස් ගාණනක්. ඒ කියන්නේ බිලියන හතරක ගණනක් තියෙනවා කොට්ඨාස 47න්ම. මේවා විදිමත් කරන්න කියලා අපි ඉල්ලුවා. ඒකේ කොයි කොට්ඨාසවලින්ද? කොච්චර පරණ ඒවද ? ළඟදි තියෙන ඒවා මොනවද ? ගන්න පුළුවන් ඒවා මොකක්ද ? බැරි ඒවා මොකක්ද ? ඒ ගැන තමයි අපි අහන්නේ." යනුවෙනි.
ඊට පිළිතුරු දෙමින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික භාණ්ඩාගාරික නන්දන රාජපක්ෂ මහතා පවසා සිටියේ, "කොටුවේ හිඟ වරිපනම් අපිට මිලියන 610ක් තිබුණා. මේ හිඟය අය කරගන්න තිබෙන්නේ අපේ නගර සභා පනත යටතේ. බදු ගෙවන්නන්ගේ දේපොළ තහනම් කිරීමට තිබෙන ක්‍රමවේදය බලාත්මක කිරිමෙන් තමයි. කොටුවේ තිබුණ හිඟ දේපොළ 3747ක්. ඒ 3747න් ඩිමාන්ඩ් නොටිස් එක යවනකොට දේපොළ නැහැ කියලා හඳුනා ගත්තා දේපොළ 94ක් තිබුණා. ඊට පස්සේ දේපොළ 2914කට අපි සීස් නෝටිස් යැව්වා. ලක්ෂයට වැඩි දේපොළ 840 තිබුණා පිටිකොටුවේ. එකේ අපි වොරන්ට් කොස්ට් එක මිලියන 533ක්. එකෙන් මිලියන 108ක් අපි එකතුකරල තියෙනවා. ඊළඟට ලක්ෂයට අඩු දේපොළ තියෙනවා 2907ක්. ඒකෙදි මිලියන 39ක් අයකරලා තියෙනයා. ඒකේ මුළු වටිනාකම කොටුවේ මිලියන 148 එකතුකරලා තියෙනවා." යනුවෙනි.
ඉන් අනතුරුව අදහස් දැක්වූ කොළඹ නගරාධිපති ව්‍රරායි කැලී බල්තසාර් මහත්මිය පැවසුවේ කොළඹ නගර සභාවේ සිදුවන කටයුතු කඩිනමින් නිවැරදි කර ගැනීමට කටයුතු කරන බවය.