සයුරෙන් එතෙර
ඉන්දු - ඇෆ්ගන් සබඳතා තර වෙයි
October 11, 2025 10:18 am
ඉන්දියාව ඇෆ්ගනිස්තානයේ සිදුකරන වත්මන් තාක්ෂණික කාර්යයන් කාබුල් හි ඉන්දීය තානාපති කාර්යාලයක් දක්වා වැඩිදියුණු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පවසා තිබේ.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ඉන්දියාවේ සංචාරයක නිරත වන තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයේ විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අමීර් ඛාන් මුත්තකි සමග සිදුවූ පළමු හමුවේදීය.
මෙයින් අදහස් කරන්නේ 2021 දී එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හමුදා ඉවත් කරගැනීමෙන් පසු තලේබාන් කණ්ඩායම බලය අල්ලාගත් දා සිට තලේබාන් සංවිධානය සමග සබඳතා සාමාන්‍යකරණය කිරීමේ පළමු පියවරක් ලෙස වසර හතරකට පෙර වසා දැමූ ඇෆ්ගනිස්ථානයේ තානාපති කාර්යාලය ඉන්දියාව නැවත විවෘත කරන බවය.
තලේබාන් නායකත්වයෙන් යුත් දූත පිරිස උණුසුම් ලෙස පිළිගනිමින් ජයිශංකර් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම සංචාරය දෙරටේ සබඳතා ඉදිරියට ගෙනයාමේ සහ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර කල් පවතින මිත්‍රත්වය තහවුරු කිරීමේ වැදගත් පියවරක් බවය.
මුත්තකි හමුවූ අවස්ථාවේදී ජයිශංකර් ඇෆ්ගනිස්තානය කෙරෙහි ඉන්දියාවේ ප්‍රවේශය පැහැදිලි කර තිබෙන අතර අසල්වැසි රටේ සංවර්ධනය සහ ප්‍රගතිය පිළිබඳව ඉන්දියාවට ගැඹුරු උනන්දුවක් ඇති බව පවසා තිබේ.
ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වෙන ඉන්දියානු ව්‍යාපෘති හරහා දෙරටේ
දිගුකාලීන හවුල්කාරිත්වය තහවුරු කෙරෙන බවත් ඉන් ඔබ්බට ඇෆ්ගනිස්තානයේ අනෙකුත් සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කළ හැකි බවත් ජයිශංකර් මෙම හමුවේදී තවදුරටත් පවසා තිබේ.