ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වේගයෙන් ඉදිරියට යා යුතුයි - ට්‍රම්ප්
October 6, 2025 07:38 am
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර වක්‍ර සාම සාකච්ඡා සඳහා වූ මැදිහත්කරුවන් හමුවීමට නියමිත බැවින් ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන්ට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වේගයෙන් ඉදිරියට යා යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා පාලනය පලස්තීන තාක්ෂණික කණ්ඩායම් වෙත භාර දීම ඇතුළු කරුණු 20කින් යුත් එක්සත් ජනපද සාම සැලැස්මේ ඇතැම් කොටස් සඳහා හමාස් සංවිධානය එකඟ වීමෙන් අනතුරුව මෙම සාකච්ඡා ආරම්භ වීමට නියමිතව ඇත.
සාකච්ඡා ඉතා සාර්ථක බවත් පළමු අදියර මෙම සතියේම අවසන් කළ යුතු බවත් ඒ අනුව සියලු දෙනා ඉක්මනින් ඉදිරියට යන ලෙස තමන් ඉල්ලා සිටින බවත් සඳහන් කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා කණ්ඩායම් අද දිනයේදී ඊජිප්තුවේදී නැවත රැස්වී අවසාන තොරතුරු පැහැදිලි කර ගැනීමටද නියමිත බවය.
තවද වසර ගණනාවක් පැරණි මෙම ගැටුම තමන් දිගින් දිගටම නිරීක්ෂණය කළ බවත් කාලය ඉතා වැදගත් වන බැවින් නැතහොත් දැවැන්ත ලේ වැගිරීම් සිදුවනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන් ව තිබේ.
මේ අතර හමාස් කණ්ඩායම් ප්‍රධානී කලීන් අල් - හයියාගේ නායකත්වයෙන් යුත් හමාස් සංවිධානයේ පිරිසක් ගැටුම් නැවැත්වීම සඳහා වූ සාකච්ඡා සඳහා ඊයේ (06) දිනයේදී ඊජිප්තුවට පැමිණ ඇති බවය.
පසුගිය මාසයේ කටාර් අගනුවර වන දෝහා හී ඊශ්‍රායල ප්‍රහාරයකින් දිවි ගලවාගැනීමෙන් පසු ඔහු ඊජිප්තුවට කළ පළමු සංචාරයද මෙය බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.
මේ අතර එක්සත් ජනපද සාම සැලැස්මේ සඳහන් ව ඇති ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම යටතේ පළමු අදියරේදී පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සිදුවනු ඇති බවත් විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබේ.