කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පසුගිය වසර තුළ ඉහළම ප්‍රගතිය ලබා ගනියි
September 27, 2025 09:20 pm
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පසුගිය වසර තුළ ඉහළම ප්‍රගතිය ලබා ගැනීමට සමත් වූ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේ මේ යටතේ මූල්‍ය වත්කම් ප්‍රමාණය මේ වසරේදී රුපියල් මිලියන 2,491 දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බවත් ජාතික වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වී, බඩඉරිඟූ, මිරිස් සහ අර්තාපල් වගාවන් සඳහා ගොවීන් 81,234 දෙනෙකු වෙනුවෙන් අක්කර 97,374 සඳහා රුපියල් මිලියන 1,669ක් ගෙවීමට හැකියාව ලැබුණු බවත්ය.
එමෙන්ම පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ගව, එළුවන් රක්ෂණ ව්‍යාපෘතීන්ද ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණු බවත් කුරුඳු, රබර් සහ කෙසෙල් වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වා දෙනු ලැබූ බවත් සභාපතිවරයා පැවසීය.
තවද කිතුල්, තල් සහ පොල් කර්මාන්තකරුවන් සඳහාද හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමයක්ද හඳුන්වාදුන් බවත් ඔහු සඳහන් කළේය.
මේ දක්වා ධීවරයින් ධීවර කර්මාන්තයේ යෙදීමේදී අවදානම කෙරෙහි අවධානයක් යොමු කර නොතිබුණ අතර 1999 අංක 20 දරණ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල පනත මගින් මණ්ඩලය වෙත ලබා දී ඇති අතර බලතල අනුව ඒ සම්බන්ධයෙන්ද සැළකිලිමත් වී ධීවර රැකියාවේ නිරතවීම හේතුවෙන් සිදුවන සියලුම අනතුරු අවරණය කිරීම සඳහා "සයුර" නම් හදිසි අනතුරු ජීවිත රක්ෂණ යෝජනා ක්‍රමයක්ද ක්‍රියාත්මක කර තිබේ.
මීට අමතරව මත්ස්‍ය කර්මාන්තය පාදක කරගනිමින් කිමිදුම්කරණයේ යෙදෙන කිමිදුම්කරුවන් වෙත සිදුවන අනතුරු ආවරණය කිරීම සම්බන්ධයෙන්ද නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමටද එම මණ්ඩලය මේ වන විට කටයුතු සිදුකරමින් පවතී.
එමෙන්ම ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ධීවර විශ්‍රාම වැටුප් යෝජනා වර්තමාන ආර්ථික තත්ත්වයන්ට ගැලපෙන පරිදි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ මුදල වැඩි කරමින් තරුණ ධීවර ප්‍රජාව ආකර්ෂණය වන ලෙස සංශෝධන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් අවසන් කර ඇති අතර එය ඉදිරි නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.
මේ අනුව කෘෂිකාර්මිකයින්ගේ හා ධීවර ප්‍රජාවගේ රක්ෂණ හා සමාජ ආරක්ෂණ අවශ්‍යතා පිළිබඳව බිම් මට්ටමින් සොයා බලා එම අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ අරමුණට අනුව යමින් ඒ අනුව බිම් මට්ටමින් ජනතාව වෙත උපරිම ප්‍රතිලාබ ලබා දීමට හැකි වූ බවත් මණ්ඩලයේ මූල්‍ය කළමනාකරණය විධිමත් කරමින් වැඩි ලාභදායීත්වයක් ලඟාකරගත් වසරක් ලෙස හැඳින්විය හැකි බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය.