ආරණ්‍ය සේනාසනයේ අනතුරෙන් අපවත් වූ හිමිවරු ගැන අනාවරණයක්

ආරණ්‍ය සේනාසනයේ අනතුරෙන් අපවත් වූ හිමිවරු ගැන අනාවරණයක්

September 25, 2025   01:31 pm

මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන්ගේ ගමන් පහසුව සඳහා යොදාගත් ඩක්කුවක් කඩා වැටිමෙන් එහි වැඩම කළ භික්ෂුන් වහන්සේ 7 නමක් අපවත් වූහ.

ඒ අතර රුසියානු, රුමේනියානු සහ ඉන්දිය භික්ෂූන් වහන්සේ තුන් නමක්ද වේ.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ඩක්කුවේ වැඩමකළ තවත් භික්ෂූන් වහන්සේ 06 නමක් මේ වනවිටත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

අපවත් වූ හිමිවරුන්,

1. පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි - (අවුරුදු 47)
2. පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි - (අවුරුදු 27)
3. පූජ්‍ය නුගේගොඩ විපස්සී හිමි - (අවුරුදු 37)
4. ඉන්දියානු ජාතික පූජ්‍ය ධම්මගවේසී හිමි - (අවුරුදු 31)
5. පූජ්‍ය උඩවලවේ සන්තසුමන හිමි - (අවුරුදු 59)
6. රුමේනියානු ජාතික පූජ්‍ය ධම්මරංසි හිමි - (අවුරුදු 48)
7. රුසියානු ජාතික පූජ්‍ය ධම්මරක්ඛිත හිමි - (අවුරුදු 48)

කුරුණෑගල පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනය ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවත් ප්‍රකට භාවනා මධ්‍යස්ථානයකි.

දේශීය සහ විදේශීය භික්ෂූන්වහන්සේ වගේම ගිහි පින්වතුන්ද නැවතී භාවනා කිරීම සඳහා නිරන්තරයෙන් එහි පැමිණේ.

නා උයන ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ අධික බෑවුම් සහිත කඳු මුදුනකය.

එහි මුදුනට ළඟා වීම සඳහා භික්ෂූන් වහන්සේ පඩි පෙළට අමතරව කම්බිආධාරක සහිත ඩක්කුවක්ද භාවිතා කරයි.

එලෙස භාවනායෝගීව සිටි භික්ෂූන් වහන්සේ 13 නමක් මෙම ඩක්කුවට ඊයේ රාත්‍රියේ ගොඩවී තිබුණේ ආරණ්‍ය සේනාසනයේ පහළ පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කර කඳු මුදුනට යළි වැඩම කිරීම සඳහාය.

කෙසේවෙතත් උන්වහන්සේට අතරමගදී අනපේක්ෂිත සිදුවීමකට මුහුණපෑමට සිදුවුණි.

ඊයේ රාත්‍රි 9ට පමණ භික්‍ෂූන්වහන්සේ රැගත් ඩක්කුව කඳු මුදුනට ළඟාවීමට ආසන්න වෙමින් තිබියදී එයට යොදා තිබූ ආධාරක කම්බියක් කැඩී යාම හේතුවෙන් උන්වහන්සේ සමඟම ඩක්කුව පහළට ඇදී ගොස් අනතුරට ලක්වී තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ 13 නම කඩිනමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

ඉන් ප්‍රතිකාර ලබමින් සිටි භික්ෂූන් වහන්සේ 07 නමක් අපවත් වුණි.

ඩක්කුව පහළට ඇද වැටෙන අවස්ථාවේ හිමිවරු දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැනීම නිසා දිවි ගළවාගෙන ඇති නමුත් උන්වහන්සේද තුවාල ලබා තිබුණි.

අනෙක් භික්ෂූන් සිව්නම ඩක්කුවේ සිටියදී අනතුරට ලක්ව බරපතළ තුවාල ලබා තිබේ.

උන්වහන්සේ 06 නම මෙරට හිමිවරු වන අතර එම භික්ෂූන් වහන්සේ මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.