උඩුදුම්බර ඛේදවාචකය - දෙදිනකට පෙර පියාත් තැලසිමියාවෙන් මිය ගිහින්
September 19, 2025 01:39 pm
තැලසිමියාවෙන් මියගිය සිය සැමියාගේ දේහය නිවසේ තිබියදීම සිය දරු තිදෙනා සමඟ වස පානය කළ කාන්තාවක් පිළිබඳ ඛේදනීය පුවතක් උඩුදුම්බර ප්‍රදේශයෙන් වාර්තා වුණි.
සිද්ධියෙන් එම කාන්තාව මිය ගොස් ඇති අතර දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේය.
"මැරෙන්න එපා ඇස් අරින්න...ඇස් අරින්න" මේ හද කම්පා කළ වචන කිහිපයකි.
කෙළිදෙලෙන්, සහෝදරකමින් මේ මොහොතේ උඩුදුම්බර ප්‍රාදේශීය රෝහලේ ඇඳක් උඩට වී සිටින මෙම දරුවන් තිදෙනා බලා සිටින්නේ, විසක් ශරීරගත වී ඇත්දැයි යන සැකයෙනි.
මේ දරුවන්ගේ මව ඊයේ (18) රාත්‍රියේ කිරි සමඟ වස මුසුකර දරුවන්ට පානයට කරන්නට දී ඇතත් වෙනදා මෙන් නොව එහි වූ තිත්ත රස නිසා දරුවන් කිරි කෝප්ප ප්‍රතික්ෂේප කර තිබුණි.
දරුවන් තිදෙනා එය ප්‍රතික්ෂේප කළත් මව ඒ සියල්ල පානය කිරීමෙන් පසු රෝගී වී තිබුණි.
පසුව අසල්වැසියන් විසින් දරුවන් සහ මව කඩිනමින් රෝහල් ගතකර ඇති අතර, ඒ වනවිටත් මව මෙළොව හැරගොස් තිබුණි.
රෝහල් බලධාරීන් පවසන පරිදි දරුවන්ට කිසිදු ගැටලුවක් නොමැති බව අනාවරණය වී තිබේ.
"කොප්පෙක තිබුණේ හැන්දෙන් මට පෙව්වේ. මල්ලිලා හිටියේ නිදාගෙන. මාත් නිදාගෙන හිටියේ. අම්මා ඇහැරෙව්වා. කිරි දුන්නේ. මම කටින් එළියට දැම්මා කිරි නෙමෙයි කියලා. කිරිවලට මොනවද දාලා. තිත්ත රසක් ආවා. මම කිව්වා මේවා කිරි නෙමෙයි කියලා. ඊට පස්සේ අම්මා ඒක බිව්වා. ඊට පස්සේ අම්මා ඇඳට වැටුණා."
කොහොම වුණත් මල්වන් මේ දරුවන් පිටුපස ඇති කතාව බොහොම අවාසනාවන්ත එකකි.
මේ දරුවන් තිදෙනාම තැලසිමියා රෝගයෙන් පෙළෙන අතර, මීට දෙදිනකට පෙර දරුවන්ගේ පියා මිය යන්නේත් තැලසිමියා රෝගයෙනි.
පියාගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතය.
එවන් පසුබිමකයි 34 හැවිරිදි මව සිය දරු තිදෙනාටත් වස දී වස පානය කර තිබුණේ.
"පවුලේ ඥාතීන් පවසන්නේ, අපිට මේ දරුවා රැකගන්න පුළුවන්. කන්න බොන්න දෙන්න පුළුවන් සෙනෙහස දෙන්න බෑ. දෙමව්පියෝ දෙන්නා අසීමිතව මේ දරුවන්ට ආදරේ කළා. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දරුවන් වෙනුවෙන් යම් මෙහෙවරක් කරලා දෙන්න කියලා."
ප්රශ්නය කුමක් වුවත්,දැනෙන පීඩනය කුමක් වුවත් විසඳුම ජීවිතය අත්හැරීම ද?
තමාගේ පමණක් නොව තවත් කෙනෙකුගේ ජීවිතයට හානි කරන්නට කිසිවකුටත් ඇති අයිතිය කුමක්ද?
මේ පිළිබඳ අදහස් දක්වන මනෝ වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජයබණ්ඩාර,
"අපි කාටත් ජීවිතේ ප්‍රශ්න ගොඩකට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඒ ප්‍රශ්න එක්ක ජීවිතේ කඩාවැටීම්, කලකිරීම් ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට ජීවත් වුණා ඇති, මැරුණා නම් හොඳයි වගේ සිතුවිලි එන්න පුළුවන්. එහෙම සිතුවිලි නැවත නැවත එනවා නම් එය කිසිවිටෙකවත් සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එයින් ඇඟවෙන්නේ ඔබට උදව් අවශ්‍ය බවයි. ඔබට උදව් ගන්න විවිධ ක්‍රම තියෙනවා. ඔබේ පවුලේ වෛද්‍යවරයාට කතා කරන එක, කුඩා දරුවන් ඉන්නවා නම් පවුල් සෞඛ්‍ය සේවිකාවකට කතා කරන්න. කවුරුත් නැත්නම් ඔබට 1926ට කතා කරන්න මානසික සෞඛ්‍ය උපකාරක සේවයට. පැය 24ම ක්‍රියාත්මකයි. ඔබට උදව් ගන්න පුළුවන් තැනක් අපි හොයලා දෙන්නම්."
මේ අතර අම්මාත් තාත්තාත් නැතිව තනිවුණු මේ පැටවුන් තිදෙනාගේ ජීවිතය රැකගන්නට ඥාතීන්ට දැන් දැඩි සටනක් ඇරඹීමට සිදුව තිබේ.
මල් කැකුළු තුනක් වැනි මේ දරුවන්ගේ ප්‍රතිකාර නිසි ලෙස සිදුකොට ඔවුන් රැකබලාගන්නට අත දෙන්නට ඔබ කැමතියි නම් මේ ඒ සඳහා අවස්ථාවයි.
වැඩි විස්තර - 0759356506