GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි
September 16, 2025 11:51 am
GovPay හරහා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ඩිජිටල් ගෙවීම් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පලාත බවට පත්ව තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ GovPay හරහා රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී ඇති සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගගත ගෙවීම් පිළිගැන්වීම ඊයේ (15) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වූ බවය.
ඒ අනුව GovPay හරහා පළාතක් යටතේ එන සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල් ගෙවීම් මගින් සවිබල ගැන්වූ පළමු පළාත ලෙස දකුණු පළාත පත් වනු ඇත.
මෙමගින් දකුණු පළාත පුරා විහිදී ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල 3කට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 53කට GovPay හා සම්බන්ධ තම බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ / ජංගම බැංකුකරණ සේවා මගින් හෝ GovPay හා සම්බන්ධ ඕනෑම FinTech යෙදුමක් හරහා ක්ෂණිකව මෙන්ම පහසුවෙන් සහ සුරක්ෂිතව ඕනෑම මොහොතක ඕනෑම තැනක සිට මාර්ගගත ක්‍රමයට ගෙවීම් කිරීමේ පහසුව දකුණු පළාතේ ජනතාවට සැලසී තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ මේ අනුව GovPay හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව මේ වන විට 132 දක්වා ඉහළ ගොස් ඇති බවය.
එමෙන්ම මේ වසරේ පෙබරවාරි මස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කළ GovPay හරහා මේ වනවිට රාජ්‍ය සේවා 1,767ක් සඳහා රුපියල් මිලියන 110කට අධික වටිනාකමකින් යුත් ගෙවීම් සිදුකර ඇති අතර බැංකු 14ක් හා FinTech යෙදුම් 6ක් මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වී ඇති බවද එම අමාත්‍යාංශය පැවසීය.