විදුලි ඉංජිනේරු සංගමයේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවත් තීව්‍ර වෙයි
September 16, 2025 10:58 am
ලංකා විදුලි බල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අද (16) සිට තීව්‍ර කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ මෙතෙක් අකුරට වැඩ කිරීමට ගෙන තිබූ පළමු ක්‍රියාමාර්ගය ඊයේ දිනෙන් අවසන් වූ බවත් අද සිට එහි දෙවන පියවරට එළැඹීමට සිය සංගමය තීරණය කළ බවත්ය.
කෙසේ නමුත් අදාළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයන් රජයට දැනෙන අයුරින් සිදු කිරීමට සැලසුම් කළ බවය.
ඒ අනුව ඉදිරියේදී රැකියාවට අමතරව ටෙන්ඩර් කමිටු සඳහා සම්බන්ධ වීම, අනෙකුත් කමිටුවලින් ඉවත් වීමට මේ අනුව කටයුතු කරන බවත් පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ මෙමගින් අදාළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමේ පණිවිඩය රජය වෙත දන්වන බවය.
එමෙන්ම හෙට (17) සහ අනිද්දා දිනයේදී සියලු සේවකයින් කණ්ඩායම් දෙකක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිත බවත් එම දින දෙක තුළ රජය විසින් ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමටද තීරණය කළ බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
කෙසේ නමුත් අදාළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු අයුරකින් කාර්යාල වැසීමක් හෝ අනෙකුත් කිසිදු ක්‍රියාවලීන් සඳහා බාධා සිදු කිරීමක් සිදු නොකරන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.