විවාහ ගිවිසගත් පෙම්වතා පැදවූ වෑන් රිය තුළම අවසන් ගමන් ගිය සඳමාලි

විවාහ ගිවිසගත් පෙම්වතා පැදවූ වෑන් රිය තුළම අවසන් ගමන් ගිය සඳමාලි

September 16, 2025   10:27 am

පවුල් දෙකක සාමාජිකයන් අටදෙනෙකු ගමන් ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරියක ගැටීමෙන් අද (16) අලුයම මාරක අනතුරක් සිදුව තිබුණේ බොහෝදෙනාගේ නෙතට කඳුළක් එක්කරමිනි.

එම අනතුරින් තරුණියක් ජීවිතක්ෂයට පත්වූ අතර කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු සෙසු පිරිස තුවාල ලැබීය.

අනතුරින් දිවි අහිමි වුයේ ඕපාත වීරපාන මල්දූවගෙදර, ඉද්දකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුෂ්පකුමාරි සඳමාලි නැමති 35 හැවිරිදි කේක් ව්‍යාපාරයක් කරන තරුණියකි.

ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ සඳමාලිගේ සහෝදරයාව රැගෙන ඒමට කටුනායක ගුවන්තොටුපොළ වෙත තවලම සිට යමින් තිබූ වෑන් රථය මෙලෙස අනතුරට ලක්ව තිබුණි.

ගැලනිගම සහ කඩතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අතර කිලෝ මීටර් 9.6 දී සුපිරි වෙළෙඳසැල්වලට භාණ්ඩ බෙදා යළි කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ඩීපිෂර් ලොරි රථයක පිටුපස වෑන් රථය ගැටී අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථය පදවා ඇත්තේ, සඳමාලි විවාහ ගිවිසගෙන සිටි තරුණයා වන අතර, ඔවුන් එළැඹෙන දෙසැම්බරයේ යුග දිවියට පිවිසීමට සිහින බලමින් සිටි යුවළකි.

සඳමාලි වෑන් රථයේ ඉදිරිපස වම්පස අසුනේ සිට ඇති අතර, අනතුරින් පසුව වෑන් රථයේ සිරවී සිටි තුවාලකරුවන් බේරාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා ගිනිනිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ නිලධාරීන් සහ රථ වාහන පොලිස් නිලධාරීන් කඩිනමින් එම ස්ථානයට ගොස් තිබුණි.

ඔවුන් අනතුර වූ ස්ථානයට ළඟා වෙන විටත් එම මාර්ගයේ ගමන් ගත් වාහනවල සිටි පිරිස අනතුරට පත් පිරිස වෑන් රථයෙන් පිටතට ගෙන තිබූ අතර දරුවන් තිදෙනා කඩිනමින් රෝහල්ගත කර ඇත.

තුවාලකරුවන් කහතුඩුව වෑතර දිසා රෝහල වෙතත් හෝමාගම මූලික රෝහල වෙතත් යොමු කිරීමෙන් අනතුරුව කුඩා දරු තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

හෝමාගම මුලික රෝහලේ මේ වනවිට පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ එක් කාන්තාවක් ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

එම කාන්තාවගේ තත්ත්වය බරපතළ බවත් ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන් කරන පොලීසිය ඊශ්‍රායලයේ සිට පැමිණීමට නියමිතව තිබී ඇත්තේ එම කාන්තාවගේ සැමියා බව ද සඳහන් කළේය.

තුවාල ලැබූ දරුවන් තිදෙනා ඔවුන්ගේ දරුවන් බව ද අනාවරණය විය.

සිදුවූ අනතුර රියදුරුගේ අධික වේගය සහ නින්දයාම හේතුවන්නට  ඇතැයි පොලීසිය සැක පළ කරයි.

අනතුරින් වෑන් රථයට දැඩි ලෙස හානි සිදුව තිබූ අතර ලොරි රථයේ පිටුපස පිටතට සුළු හානි සිදුව තිබූ බව පොලීසිය සඳහන් කරයි.