රතු එළි දැල්වෙන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව
August 31, 2025 09:48 pm
පූර්ණ රාජ්‍ය ව්‍යවසායක් ලෙස ක්‍රියාත්මක සීමාසහිත ලංකා සීනි සමාගමට අයත් දෙවන විශාලතම සීනි කර්මාන්ත ශාලාව වන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව තුළ වාර්ෂික උක් දඬු මෙට්‍ර්ක් ටොන් 250,000ක් පමණ අඹරනු ලබයි.
ඒ ඔස්සේ සීනි මෙට්‍ර්ක් ටොන් 15,000කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන අතර ඉන් නිෂ්පාදනය කෙරෙන එතනෝල් ප්‍රමාණය ලීටර් ලක්ෂ 50කට ආසන්න වේ.
සෙවනගල සීනි කර්මාන්තශාලාව තුළ සේවකයින් 1,300ක් පමණ සේවය කරන අතර ගොවි පවුල් 10,000ක් පමණ සෘජුව සහ වක්‍රව මෙම කර්මාන්ත ශාලාව ඔස්සේ සිය ජීවිකාව පවත්වාගෙන යයි.
මෙවැනි පසුබිමක සීමාසහිත ලංකා සීනි සමාගම තුළ වර්තමානය වනවිට උද්ගතවී ඇති ගැටලු රැසක් සෙවනගල කර්මාන්ත ශාලාවේ හෙට දවස කෙරෙහිද රතු එළි දල්වා තිබේ.
දේශිය දුඹුරු සීනි සඳහා පවත්නා ඉල්ලුම දිනෙන් දින පහළ බැසීම හේතුවෙන් සෙවනගල කර්මාන්ත ශාලාවේ ගබඩා තුළද අලෙවි කරගැනීමට නොහැකිවූ සීනි මෙට්‍ර්ක් ටොන් 2,000ක් පමණ ගොඩගැසී තිබේ.
එසේම වත්මන් පරිපාලනයේ දුර්වල කළමණාකරණය නිසාම මෙතෙක් දෛනිකව අඹරනු ලැබූ උක්දඬු ප්‍රමාණය වූ මෙට්‍ර්ක් ටොන් 1,300ක ප්‍රමාණය මෙට්‍ර්ක් ටොන් 850 පමණ දක්වා පහළ ගොස් ඇත.
කර්මාන්ත ශාලාවේ උක් දඬු කපන කටර් 2න් එකක් කෑඩියාම ඊට හේතුව බව ගොවින් පවසයි.
දෛනිකව අඹරන උක්දඬු ප්‍රමාණය අඩුවීමත් සමඟ කර්මාන්තශාලා පරිපාලනය විසින් තම උක් අස්වැන්න භාරගැනීමද සීමාකර ඇති බව ගොවින් පවසයි.
කර්මාන්තශාලාව උක් දඬු ලබාගැනීම සීමා කිරීමත් සමඟ සිය උක් අස්වනු ගොවි බිම් තුළම ගිනිගෙන විනාශ වෙමින් පවතින බවත්, එලෙස ගින්නෙන් පිළිස්සෙන උක් දඬු භාරගැනීමද මේ වනවිට සෙවනගල සීනි කර්මාන්තශාලා පරිපාලනය නවතා දමා ඇති බවටත් ගොවින් චෝදනා කරයි.
උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ගොවින් පමණක් නොව උක් කර්මාන්තය ආශ්‍රීතව සිය ජීවිකාව පවත්වාගෙන යන උක් දඬු ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථ රියදුරන්ද දැඩි ආර්ථික අපහසුතාවටකට මුහුණ දී සිටියි.