නියෝජ්‍ය අමාත්‍යවරුන් වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක

නියෝජ්‍ය අමාත්‍යවරුන් වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක

August 26, 2025   10:20 pm

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාව වෙත නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගී විය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරුන් පෙන්වා දුන්නේ, මේ වනවිට රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් මුද්‍රණ පිටපතක් ආකාරයෙන් නිකුත් කරනු ලබන වෛද්‍ය සහතිකය විනිවිදභාවයෙන් තොර අතර අක්‍රමිකතා සිදුවන බවට අනාවරණය වී ඇති හෙයින් ඒවා අවම කිරීම වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේදය භාවිත කළයුතු බවය.

එසේම රියදුරු බලපත්‍රය කල් ඉකුත්වූ විට එය අලුත් කර ගැනීමටත් වේරහැරට පැමිණීමට සිදුවන අතර එය ජනතාව අපහසුතාවට පත් කරවන්නක් බව ද අමාත්‍යවරුන් පෙන්වා දුන්නේය.

ඒ අනුව මාසයක් වැනි කාලයක් තුළ මෙම ක්‍රමවේදයත් වෙනස් කර, රියදුරු බලපත්‍රයක් අලුත් කිරිම සඳහා පහසු ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති ඔවුන් එහිදී වැඩිදුරටත් පැවසීය. 

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) අවන්ති සේනාරත්න, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිනී අරෝෂා විද්‍යාභූෂණ යන මහත්ම මහත්මීන් ඇතුළු මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.