DIG බිරිඳ ඇතුළු පිරිස නිධන් හෑරීමේ සිද්ධිය - වාර්තාවක් දෙන්නැයි නියෝගයක්
August 20, 2025 07:12 am
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් පිරිසක් අනුරාධපුර ශ්‍රාවස්තිපුර තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ නිධන් වස්තූන් ලබාගැනීමේ අරමුණින් අනවසරයෙන් සිදුකළ කැණීම් සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
'අද දෙරණ' අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම නියෝග නිකුත් කළ බවය.
කැණීම සිදුකළ, දේවාලයක් ආසන්නයේ ගල් තාලාවක් සහිත ඉඩම පුරාවිද්‍යා වටිනාකමක් ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්ද යන්න පරීක්ෂා කර බලා, ඊට අදාළ පුරාවිද්‍යා වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහරින ලෙස නියෝජ්‍ය පොලිස්තිපතිවරයෙකු බව කියන පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් බලපෑම් කර ඇද්ද, යන්න අනාවරණ කර ගැනීමට සියලු සැකකරුවන්ගේ දුරකථන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා නොපමාව පොලීසියට ලබා දෙන ලෙසද අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් මහතා සියලු දුරකථන සමාගම්වලට මීට පෙර නියෝග කර තිබුණි.
අධිකරණය හමුවට ඉදිරිපත් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු සැකකරුවන් මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මීට පෙර ලබා දුන් නියෝගයකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයනේ සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද අනුරාධපුර මූලස්ථාන පොලීසියට නියෝග කර ඇති බව සඳහන්ය.
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක බව කියන වේයන්ගොඩ මල්වාන ප්‍රදේශයේ පදිංචි කාන්තාව ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙක් මේ සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත මෙම සිද්ධිය සම්බන්ධයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්ය.