කෝටි 5ක ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් කොටුවෙයි

කෝටි 5ක ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් කොටුවෙයි

August 16, 2025   10:15 am

රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වනපරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව මෙම වැටලීම සිදුකර තිබුණි.

ඒ අනුව, ඊයේ (15) සවස් කාලයේ වත්තල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි.

එහිදී කේරළ ගංජා කිලෝ 309 කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 43 සහ 49ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරුවන් විසින් කුලී පදනම මත ලබාගත් නිවසක කාමරයක් තුළ සඟවා තිබියදී මෙම කේරළ ගංජා තොගය පොලිස් භාරයට ගැනුණි.

සැකකරුවන් අද (16) දින වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.