විල්පත්තුවේ නීතිවිරෝධී ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලානෙන් වටලයි

විල්පත්තුවේ නීතිවිරෝධී ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලානෙන් වටලයි

August 9, 2025   08:08 pm

විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද වටලනු ලැබීය.

ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණයෙනි.

පසුගිය ආණ්ඩු සමයේ ප්‍රබල දේශපාලනඥයින් පිරිසක් මේ ජාවාරම පිටුපස සිටියේදැයි සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ අරුවක්කාඩුව අධිසංවේදි පරිසර පද්ධතිය තුළ නිසි අවසරයකින් තොරව ඉල්මනයිට් සේදීමේ කටයුතු පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය එම භූමිය සිය භාරයට ගත්තේය.

මෙහිදී එම කටයුතුවලට භාවිත කළ යන්ත්‍ර සූත්‍ර තොගයක් පොලිස් භාරයට ගැනුණු අතර, එහි වටිනාකම රුපියල් කෝටි 200කට අධිකය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීකරණය යටතේ මෙම වැටලීම ක්‍රියාත්මක කෙරිණි.

මේ වන විට අනාවරණ වී ඇත්තේ, අක්කර 20ක භූමි ප්‍රදේශයක් පුරා ක්‍රියාත්මක කර තිබූ මෙම නීතිවිරෝධී ජාවාරමේදී වසර සිය ගණනක් පැරණි කළුවර, බුරුත, වීර ඇතුළු දැවැන්ත වෘක්ෂයන් කපා දමා ඇති බවය. 

මෙය විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයට මිටර් 500ක දුරකින් පිහිටා ඇති අතර, එම ස්ථානයට ජලය සපයාගෙන ඇත්තේ විල්පත්තුව ප්‍රේරක කලාපයට අයත් සීමාවේ පිහිටි ලුණු ඔයෙනි.

මෙම ස්ථානයේ ජලාශයක් ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවසර ගෙන තිබුණ ද, කැණීම් කිරීමට අවසර ලබා දී නොමැත.

නමුත් පුරාවිද්‍යා නිර්දේශ නොතකමින් මෙහි අක්කර දෙකකට වැඩි භුමියක අඩි 20කට වැඩි ගැඹුරට ජලාශයක් ඉදිකර ඇති බවද හෙළි වී තිබේ.

මෙම ජාවාරම පිටුපස හිටපු මැති ඇමතිවරුන් සිට ඇද්දැයි මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙහිදී මෙම ස්ථානය සිය භාරයට ගත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම ස්ථානයේ ආරක්ෂාවට වනාතවිල්ලුව පොලිසියේ නිලධාරීන් පිරිසක් රැඳවීමටද පියවර ගත්තේය.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පැවසුවේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හෙට පුත්තලම අධිකරණයට කරුණු වාර්තා කරන බවය.