ගම්බිම් බලායන මගීන්ගෙන් මාකුඹුර පිරෙයි

ගම්බිම් බලායන මගීන්ගෙන් මාකුඹුර පිරෙයි

August 7, 2025   08:33 pm

දින තුනක දීර්ඝ සති අන්තය මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල නිවාඩු ලබාදීම හේතුවෙන් ගම්බිම් බලායාම සඳහා විශාල මගී ජනතාවක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත අද (07) පස්වරුවේ පැමිණ තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය පවසා සිටියේ, අද සවස 4.30 සිට 7.30 දක්වා කාලය ඇතුළත මගීන් 12,000කට වැඩි ප්‍රමාණයක් මාකුඹුරට පැමිණ තම ගමනාගමන අවශ්‍යතා ඉටුකරගෙන ඇති බවය.

මෙලෙස පැමිණි මගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් ගාල්ල, මාතර හා හම්බන්තොට ප්‍රදේශ සඳහා පිටව ගොස් ඇත.

කෙසේ වෙතත් එකවරම විශාල ප්‍රමාණයක් මෙලෙස මාකුඹුරට පැමිණීම හේතුවෙන් මගීන්ට පැයකට වැඩි කාලයක් මධ්‍යස්ථානය තුළ රැඳී සිටීමට සිදුව තිබේ.

ඒ හේතුවෙන් එක් බස් රථයක් පිටත්වනවාත් සමග අනෙක් බස්රථය බස් රථ ගාලට යොමු කිරීමට කටයුතු කර තිබූ බවද ශෙරීන් අතුකෝරල මහත්මිය වැඩිදුරටත් පැවසීය.