රේගුවේ රඳවා ඇති BYD ගැන පෙත්සම 7 වනදා කැඳවයි
August 5, 2025 05:14 pm
ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගෙන සිටින BYD විද්‍යුත් මෝටර් රථ මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 07 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම අද (05) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ආනයනික වාහන රේගුව විසින් රඳවා ගැනීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළාය.
අදාළ වාහන බැංකු බැඳුම්කරයක් මත මුදාහැරීමට රේගුවට හැකියාවක් තිබෙන බවත් ඇය අධිකරණය හමුවේ පෙන්වා දුනි.
මෙහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසියට ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ආනයනය කළ වාහන 997ක් රේගුව භාරයේ පවතින බව සඳහන් කළේය.
එම වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝවොට් 100 ද? කිලෝවොට් 150 ද? යන්න නිගමනය කිරීම සඳහා මොරටුව හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල විශේෂඥ මහාචාර්යවරුන් දෙදෙනෙකු සහ BYD සමාගමේ ඉංජිනේරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඔහු පැවසීය.
එම වාර්තාව ලැබෙන තෙක් අදාළ වාහන සඳහා ගෙවිය යුතු බදු අතර වෙනස ගණනය කර එම මුදල තැන්පතුවක් වශයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගිණුමේ තැන්පත් වශයෙන් තබන්නේ නම් එම වාහන වලින් 06ක් විමර්ශන කටයුතු සඳහා රඳවාගෙන සෙසු වාහන මුදාහැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවට වගඋත්තරකරුවන්ට උපදෙස්දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ඒ අනුව අදාළ පෙත්සම යළි මේ මස 07 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින මෙම යෝජනාව සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වයේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් නියම කෙරුණි.
ජෝන් කීල්ස් සීඩී ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.