කහවත්ත ඝාතන සිද්ධියේ පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනාම හඳුනා ගනියි

කහවත්ත ඝාතන සිද්ධියේ පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනාම හඳුනා ගනියි

August 5, 2025   04:47 pm

කහවත්ත පලන්සූරියගම ප්‍රදේශයේදී පසුගියදා තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් අටදෙනෙකු අද (05) පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදී පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනාම සාක්ෂිකරුවන් විසින් මෙහිදී හඳුනාගනු ලැබීය.

පසුගිය ජුනි මස 30 වැනිදා කහවත්ත, පලන්සූරියගම හල්ලිද ප්‍රදේශයේ පදිංචි සුරංජන නම් 22 හැවිරිදි තරුණයෙකු පොලීසියෙන් බව පවසා පිරිසක් විසින් පැහැරගෙන ගොස් එම ප්‍රදේශයේ මාර්ගයක් අසල වෙඩි තබා ඝාතනය කර තිබුණි.

එකී සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සහ රත්නපුර කොට්ඨාස අපරාධ ඒකකය විසින් සිදු කරන ලද විමර්ශනයේදී සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය භාර විය.

ඒ අනුව අද හඳුනා ගැනීමේ පෙරට්ටුවට පොලීසියට භාර වූ සැකකරුවන් දෙදෙනා ඉදිරිපත් කළ අතර එහිදී ඝාතනයට ලක්වූ පවුලේ ඥාතීන් විසින් එම සැකකරුවන් දෙදෙනා හඳුනා ගනු ලැබීය.

හත්වෙනි සහ අටවෙනි විත්තිකරුවන් එලෙස හඳුනාගෙන ඇති අතර නමවැනි විත්තිකරු ඉදිරි දිනයක හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් 08 දෙනා එළැඹෙන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා නියෝග කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සහ අධිකරණ භූමිය තුළ දැඩි ආරක්ෂාවක් යෙදවීමටද පොලීසිය පියවර ගෙන තිබුණි.