මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ගැන ප්‍රශ්නයෙන් කැබිනෙට්ටුවත් කැලඹෙයි
August 5, 2025 02:07 pm
ඊශ්‍රායල ජාතිකයින්ට free Visa ලබාදීම පිටුපස විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ පුටුවල සිටින පුද්ගලයින්ගෙන් රජයට බලපෑම් එල්ල වූ බවට මේ දිනවල පුවතක් වාර්තා වුණි.
ඒ සම්බන්ධයෙන් අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මැදිහත් වීමෙන් අදාළ රටවල් ලැයිස්තුව සකස් කරනු ලැබුවේ, සංචාරක පැමිණීම සහ ඔවුන් මෙරටට ගෙන එනු ලබන ඩොලර් ආදායම අනුව බවය.
"කිසිම රටක් ගැන වෙන කෝණයකින් බලලා නෑ. ඔබ දැක්කොත් මේ අතර විවිධ රටවල් තියෙනවා. මේ රටවල් තෝරාගැනීමේ පදනම වුණේ අපිට ලැබෙන ඩොලර් ආදායමත් එන සංචාරකයින් ප්‍රමාණයත්. බොහොම පැහැදිලියි ඒ ලැයිස්තුවේ රටවල් සම්බන්ධයෙන්."
මේ අතර ඊශ්‍රායලයෙන් පැමිණෙන ගුවන්යානාවලට ආරක්ෂාව සැපයීමට හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කාලවකවාණුවේ දී තීරණ ගෙන තිබූ බවත්, පසුගිය වසරේ මැයි මාසයෙන් පසුව ඊශ්‍රායල ගුවන්යානා මෙරටට නොපැමිණි බවත් සඳහන් කළ අමාත්‍යවරයා, ඇතැම් විට මේ වසරේ අග දී යළි ඊශ්‍රායල ගුවන්යානා මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බවත් පැවසීය.
මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ආරක්ෂාව ලබාදෙන්නේ හුදෙක් ඔවුන් සංචාරකයින් වීම නිසාවෙන් පමණක් බව ද පැවසු අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව යොදවා ඇතැයි ද කියා සිටියේය.
"ඒ අය එකතු වෙන තැන් තියෙනවා නම් පොදු සංචාරකයින් ලෙස සලකා ඒ ආරක්ෂාව ලබාදෙන එක පමණයි රජය සිදුකරන්නේ. එය විශේෂ ආරක්ෂාවක් නෙමෙයි ඕනෑම තැනක එකතු වෙනවා නම් සංචාරකයා තනි තනිව සිටියත් කණ්ඩායම් වශයෙන් සිටියත් ඔවුන් ආරක්ෂා කිරීමේ වගකීම රජය සතු නිසා. වෙන ප්‍රශ්නයක් මෙතෙන නෑ. ඊශ්‍රායලය ඇතුළු රටවලින් දැන් සංචාරකයින් එන එක වැඩිවෙලා තියෙනවා. ඒ අයගේ රට කියන එක නොසලකා ලංකාවට පැමිණෙන සියලු විදේශිකයින්ගේ ආරක්ෂාව ලබාදීම අපි ප්‍රමුඛ කරගෙන තියෙනවා."