'තෙබුවන බිංදු' ලක්ෂ 50ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

'තෙබුවන බිංදු' ලක්ෂ 50ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

August 5, 2025   09:43 am

ඊසි කෑෂ් ක්‍රමයට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වාගෙන ගිය 'තෙබුවන බිංදු' නැමති පුද්ගලයාව තෙබුවන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

තෙබුවන, හොරණ, මතුගම, අඟුරුවාතොට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම සිදුකර ඇති අතර, පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි.

තෙබුවන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාධිරගේ දර්ශන මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක් ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරී සඳහා යොදවා සිටියදී මෙම අයිස් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ විමර්ශනයේ දී මෙම සැකකරුව දෙල්ගොඩ පන්සල අසලදී අයිස් ග්‍රෑම් 15ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සම්බන්ධයෙන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මතුගම මහෙස්ත්‍රාත්වරයාගේ උපදෙස් මත දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තෙබුවන පොලීසියට අවසර ලබාදී තිබුණි.

පසුව සැකකරු රඳවාගෙන සිදුකළ විමර්ශනකින් අනතුරුව තෙබුවන, කිරිමැටිය ප්‍රදේශයේ කිසිම පුද්ගලයෙකු පදිංචිව නොමැති පාලු නිවසක පඩි පෙළක් අසල සඟවා තිබූ  ග්‍රෑම් 310ක ලක්ෂ පනහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක්  සඟවා තිබියදී තෙබුවන පොලීසිය සොයා ගෙන තිබේ.

සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේ දී සැකකරු තාවකාලිකව රැඳී සිටි මිල්ලනිය ලබුගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී තිබී අයිස් මත්ද්‍රව්‍ය මැනීමට භාවිතා කරන ඩිජිටල් තරාදියක්ද මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා භාවිතා කරන ඉටිකොළද ඊසි කෑෂ් ක්‍රමයට මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යාමට විවිධ පුද්ගලයින්ගේ නම්වලින් ලියාපදිංචි වී ඇති බැංකු ගිණුම් පත් කිහිපයක් සහ මෙම ජාවාරම සඳහා භාවිතා කළ විවිධ වටිනාකම් සහ විවිධ ප්‍රමාණවලින් යුත් ජංගම දුරකථන 10ක්ද එම ජංගම දුරකථන සඳහා භාවිතා කළ සිම්පත් නමයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි සිදුකළ මෙම වැටලීමේ දී මෙම ජාවාරම්කරුට මෙම අයිස් මත්ද්‍රව්‍ය කිසියම් ජාවාරමක් හරහා ලැබුණේ ද යන්න පිළිබඳව තෙබුවන පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.