මාරක අනතුරු කිහිපයක් - බිලිඳෙක් ඇතුළු තිදෙනෙකුට දිවි අහිමිවෙයි

මාරක අනතුරු කිහිපයක් - බිලිඳෙක් ඇතුළු තිදෙනෙකුට දිවි අහිමිවෙයි

July 30, 2025   06:55 am

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් අවුරුදු එකහමාරක කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

ඊයේ (29) මෙම අනතුරු සිදුව තිබුණේ මාතලේ, මැදවච්චිය සහ කටාන යන පොලිස් වසම්වලින්ය.

මාතලේ පොලිස් වසමේ මාතලේ රත්තොට මාර්ගයේ මණදන්ඩාවෙල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළීගොස් අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු පිටුපස අසුනේ ගමන්ගත් රියදුරුගේ මව හා කුඩා දරුවා තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවා මියගොස් ඇත.

එලෙස මිය ගොස් ඇත්තේ, මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු එකහමාරක කුඩා දරුවෙකි.

මේ අතර මැදවච්චිය පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ වැලිඔය හන්දියේදී ලොරි රථයක රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව යතුරු පැදියක හා තවත් ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රැඹෑව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර කටාන පොලිස් වසමේ මීගමුව - මීරිගම මාර්ගයේ ලංකාමාතා මාර්ගයට හැරෙන හන්දිය ප්‍රදේශයේදී කැබ් රථයක් දකුණට හැරවීමට යාමේදී විරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබේ.  

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී  මිය ගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, කටාන ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.