එළැඹෙන වසරේදී ඖෂධ හිඟයක් නොමැති බව සෞඛ්‍ය බලධාරීන් කියයි

එළැඹෙන වසරේදී ඖෂධ හිඟයක් නොමැති බව සෞඛ්‍ය බලධාරීන් කියයි

July 28, 2025   09:49 pm

ඖෂධ හිඟය පියවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡාවට භාජනය වී තිබේ.

මීට එක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලදාරීන් කාරක සභාවේදී සඳහන් කර ඇත්තේ පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බවය.

කෙසේ නමුත් එළැඹෙන වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් මේ වන විටත් ආරම්භ කර ඇති බැවින් 2026 වසරේදී කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවන බව සෞඛ්‍ය නිලධාරීන් කාරක සභාව හමුවේ අවධාරණය කර තිබේ.

එමෙන්ම මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80%ත් 90%ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වෙනු ඇතැයිද අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මෙහිදී කාරක සභාව විසින් ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ලබා ගත හැකිදැයි නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එයට ප්‍රතිචාර ලබා දෙමින් අමාත්‍යාංශ නිලධාරීන් විසින් දැනට එවැනි ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව තහවුරු කළේය.