තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එකඟ වෙයි

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එකඟ වෙයි

July 28, 2025   03:16 pm

UPDATE - තායිලන්තය සහ කාම්බෝජය අතර සාම සාකච්ඡාවලින් පසු දෙපාර්ශ්වය ක්ෂණික සහ කොන්දේසි විරහිත සටන් විරාමයකට එකඟ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන බවට මැලේසියාවේ අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් පවසා ඇති බවය.

මෙය ගැටුම් අවම කර සාමය සහ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා අත්‍යවශ්‍ය පළමු පියවරක් බවද ඔහු සඳහන් කර තිබේ.
 

----------------------------------------------------

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම සාකච්ඡා ආරම්භ වෙයි

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම සාකච්ඡා මාලදිවයිනේදී ආරම්භ වී තිබේ.

මේ සඳහා තායිලන්තයේ වැඩබලන අග්‍රාමාත්‍ය ෆුම්තම් වෙචයාචායි සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍ය යුන් මැනට් එක්ව ඇති අතර සාම සාකච්ඡා හී මැදිහත්කරු ලෙස මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් හී පිහිටා ඇති මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී මෙම සාකච්ඡා ආරම්භ වී ඇති අතර චීනයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ නිලධාරීන් පිරිසක්ද එම සාකච්ඡා සඳහා එක්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

දෙරට අතර මේ වන විට මතුව ඇති ගැටුම් හමුවේ තායිලන්තයේ හමුදා සාමාජිකයින් ඇතුළු 33 දෙනෙකු මියගොස් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

එමෙන්ම එරට පළාත් හතක සිවිල් වැසියන් 140,000කට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ නමුත් කාම්බෝජය මෙතෙක් ගැටුම් හමුවේ මරණයට පත්වූවන් සම්බන්ධව නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

සාම සාකච්ඡා ආරම්භ වීමට පෙර කාම්බෝජ අගමැති යුන් මැනට් සටන් විරාමයක් ඉල්ලා සිටි අතර මීට පිළිතුරු ලබා දෙමින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ කාම්බෝජය මෙම ගැටුම් අවසන් කිරීමට සිය අවංකත්වය පෙන්විය යුතු බවය.

දෙරට අතර දේශසීමා ආසන්නයේදී පසුගිය මැයි මාසයේදී කාම්බෝජ හමුදා නිලධාරියෙකු ඝාතනය වීමෙන් අනතුරුව දෙරට අතර මත ගැටුම් නිර්මාණය වූ අතර පසුව එය ගැටුම්කාරි තත්ත්වයක් දක්වා වර්ධනය විය.