රුසියාව සහ යුක්‍රේනය නව සාම සාකච්ඡාවකට සූදානම් බව සෙලෙන්ස්කි කියයි

රුසියාව සහ යුක්‍රේනය නව සාම සාකච්ඡාවකට සූදානම් බව සෙලෙන්ස්කි කියයි

July 22, 2025   03:18 pm

යුක්‍රේනය සහ රුසියාව අතර එළැඹෙන බදාදා ඉස්තාන්බුල්හිදී නව සාම සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිත බව යුක්‍රේන ජනාධිපති ‍වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබේ.

යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානීවරයා සමග සිරකරුවන් හුවමාරුවක් සඳහා වන සූදානම සහ රුසියානු පාර්ශ්වය සමග තුර්කියේදී තවත් රැස්වීමක් පිළිබඳව සාකච්ඡා කළ බවය.

කෙසේ නමුත් ඉස්තාන්බුල්හි පැවැත්වීමට සැලසුම් කර ඇති සාම සාකච්ඡා පිළිබඳව රුසියාව මෙතෙක් නිල වශයෙන් අදහස් දක්වා නොමැති නමුත් තුර්කිය පවසා ඇත්තේ එළැඹෙන බදාදා දින රුසියාව සහ යුක්‍රේනය අතර සාම සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉස්තාන්බුල් හී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේදී තවදුරටත් සිරකරුවන් හුවමාරු කර ගැනීම සහ සෙලෙන්ස්කි සහ පුටින් අතර හමුවක් ද සිදුවිය හැකි බවත්ය.

දෙරට අතර පවතින යුද ගැටුම් සම්බන්ධව අමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා පැවසුවේ දින 50ක් ඇතුළත රුසියාව සහ යුක්‍රේනය අතර සටන් විරාමයක් නොමැති නම් එක්සත් ජනපදය විසින් රුසියාවට දැඩි සම්බාධක පනවන බවය.

එමෙන්ම රුසියාව යුක්‍රේනයට එරෙහිව සිදුකරන ප්‍රහාර දැඩි කිරීමෙන් අනතුරුව යුක්‍රේන හමුදාවට නව ආයුධ ලබා දෙන බවටද එක්සත් ජනපදය පියවර ගෙන තිබුණි.