ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

July 10, 2025   04:15 pm

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් නන්දික කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පිළිබඳව ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා අදාළ උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මෙවර අයවැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇත.

ඒ අනුව අදාළ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම පිළිබද එම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ.