අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙයි

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙයි

July 9, 2025   05:33 pm

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්ව තිබේ.

ඒ එම අනු කාරක සභාවේ සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීමට අදාළව අනු කාරක සභාව විසින් ගතයුතු ක්‍රියාමාර්ග සහ අනු කාරක සභාවේ අරමුණ පිළිබඳව එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සිය අදහස් ඉදිරිපත් කළේය. 

ඒ අනුව, රටේ අධ්‍යාපනය ක්ෂේත්‍රයේ ගැටළු විසඳීමට සහ අධ්‍යාපන වෘත්තීයමයභාවය ඉහල නැංවීම අරමුණු කරගත් අධ්‍යාපන සභාව පිහිටුවීම සම්බන්ධයෙන් මෙම අනු කාරක සභාව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.

විශේෂයෙන් ගුරු සේවය, විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය සහ ගුරු උපදේශක සේවය යන අංශ පහ තුළ පවතින ගැටලු නිරාකරණය කිරීම මෙහි මූලික අරමුණ බව ද සභාපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

මේ අතර ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා ගැනීම සඳහා නිර්දේශ ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කමිටුවක් මේ වන විට පත් කර ඇත.

ඒ අනුව, අදාළ කමිටුව සහ පාර්ලිමේන්තුවේ මෙම අනු කාරක සභාව එක්ව රැස්වී මූලික කරුණු පිළිබඳ සාකච්ඡා  කිරීමට කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා යෝජනා කළේය.