නැවතත් ලංකාවෙන් ඊශ්‍රායලයට ශ්‍රමිකයන්

නැවතත් ලංකාවෙන් ඊශ්‍රායලයට ශ්‍රමිකයන්

July 9, 2025   05:23 pm

ඊශ්‍රායලයේ ආපනශාලා අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ට රැකියා ගිවිසුම් මේ දිනවල ලැබෙමින් පවතින අතර, ලාංකිකයින් 600ට අධික පිරිසක් සඳහා රැකියා ගිවිසුම් මේ වන විට ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 

ජූලි මස 14 වන දින දක්වා මෙම රැකියාවලට අදාළ ගිවිසුම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ්‍රය තුළදී අත්සන් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව ඔවුන් දින තුනක පෙර විගමණික පුහුණුව සඳහා යොමුකර, එය අවසන්වීමෙන් පසු කඩිනමින් ඔවුන් ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් කර හැරීමට කටයුතු යොදා ඇති බව දැනුම් දී තිබේ.

එසේම ඊශ්‍රායලයේ ආපනශාලා ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගිය පළමු කණ්ඩායම ලෙස රැකියාලාභීන් 90 දෙනෙකු ජූලි 06 හා 07 යන දෙදින ඊශ්‍රායලය බලා පිටත්ව  ගොස් ඇත.

මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා දින දෙකක් තුළදී තරුණයින් 99 දෙනෙකු යොමුකිරීමට කාර්යාංශය පියවර ගෙන තිබේ.

මෙම ශ්‍රමිකයින් Renovation General Work, Ceramic Tiling, Plastering Work යන රැකියා කාණ්ඩ සඳහා පිටත්ව ගිය අතර, ඉන් 49 දෙනෙකු ඊයේ (08) හා තවත් 50 දෙනෙකු අද (09) වන දින ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇත.

මෙම රැකියා කාණ්ඩයට අදාළව ශ්‍රමිකයින් ඊශ්‍රායලය වෙත යොමුකිරීම 2025.03.19 දින ආරම්භ කරන ලද අතර, එතැන් සිට මේ දක්වා ලාංකිකයින් 521 දෙනෙකු අදාළ රැකියා සඳහා ඊශ්‍රායලය වෙත යොමුකර තිබේ.

පසුගිය සමයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් ඊශ්‍රායලය වෙත යොමුකිරීම තාවකාලිකව නතර කර තිබූ අතර, පැවති තත්ත්වය සමනය වීමත් සමග ශ්‍රමිකයින් ක්‍රම ක්‍රමයෙන් ඊශ්‍රායලය වෙත පිටත් කර හැරීමට කාර්යාංශය පියවර ගනිමින් සිටියි.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින් මෙම රැකියා සඳහා යොමුකරනු ලබන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීමට වෙනත් පාර්ශවයන්ට මුදල් ලබාදීමෙන් වලකින මෙක් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.