අහ්මදාබාද් බිහිසුණු ගුවන් අනතුර ගැන මුලික වාර්තාව මේ සතියේ

අහ්මදාබාද් බිහිසුණු ගුවන් අනතුර ගැන මුලික වාර්තාව මේ සතියේ

July 9, 2025   11:08 am

ජුනි මාසයේදී සිදු වූ එයාර් ඉන්දියා ජෙට්ලයිනර් අනතුර පිළිබඳ මූලික වාර්තාවක් සිකුරාදා වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

යානයේ ඉන්ධන පාලන ස්විච්චයේ චලනය, අනතුර කෙරෙහි බලපා ඇති බව එක් පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානය පසුගිය ඡුුනි 12 වැනිදා අනතුරට ලක්වූයේ ලෝක ගුවන් ඉතිහාසයට දරුණු කළු පැල්ලමක් සටහන් කරමිණි.   

අඩි 650ක උන්නතාංශයකට ළඟා වීමෙන් පසු උස අඩු වීමට පටන් ගන්නට විය.

ඉන් අනතුරුව ගුවන්යානය ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළ අසල BJ වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩාවැටී පිපිරීමට ලක්විය.

ගුවන් යානයේ සිටි 242 දෙනා අතරින් 241 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර, ‍ගුවන් යානයේ සිටි එක් මගියෙක් පමණක් අනතුරින් දිවි ගලවා ගනු ලැබුවේ ලොවම විශ්මයට පත්කරමිනි.

යානය කඩාවැටුණු වෛද්‍ය විද්‍යාල ගොඩනැගිල්ලේ සිටි සිසුන් පිරිසක් ද ජීවිතක්ෂයට පත්වුයේ අවාසනාවන්ත ලෙසින්ය. 

මියගිය පිරිස් අතරින් සියලුදෙනාම පාහේ දැඩි ලෙස පිළිස්සී එම මළ සිරුරු හඳුනාගත නොහැකි මට්ටමේ පැවතීම හේතුවෙන් සිරුරුවල අනන්‍යතාව තහවුරු කරගැනීම අපහසු කාර්යයක් විය.

මින් පෙරද එම යානා පිළිබඳ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවූයේ එහි තත්ත්ව පරීක්ෂක ඉංජිනේරුවරයෙක් වූ සෑම් සලෙපෝ 2024 වසරේ අප්‍රේල් මස අමෙරිකාවේදී සිදුකළ අනාවරණයත් සමගින්ය.