ආමි උපුල් ඝාතනයේ සැකකරුවෙකු SMG ගිනිඅවි 2ක් සමග අත්අඩංගුවට

ආමි උපුල් ඝාතනයේ සැකකරුවෙකු SMG ගිනිඅවි 2ක් සමග අත්අඩංගුවට

July 8, 2025   08:28 pm

රාගම පොලිස් වසමේ සහස්පුර නිවාස සංකීර්ණය ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (08) මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ආමි උපුල්ල ඝාතනයේ සැකකරුවෙකු වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

සහස්පුර නිවාස සංකීර්ණය ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ක්ෂණික මාර්ග බාධක යොදා සිදුකළ පුද්ගලයින් පරීක්ෂාවකදී හෙරොයින් කිලෝ 09 ග්‍රෑම් 240ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී රාගම පොලිස් වසමේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සඳහා යොදා ගෙන ඇති ගිනිඅවිය වෙඩික්කරු වෙත ප්‍රවාහනය කර ඇති බවත්, අපරාධයෙන් පසුව ගිනිඅවිය ලබාගෙන ඔහු සඟවා තැබූ බවටත් අනාවරණය වී ඇත.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුගේ ප්‍රධාන සමීපතමයෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය ලබාගෙන ආරක්ෂිතව නිවසේ සඟවාගෙන සිට ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මෙම සැකකරුගේ තාවකාලික පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී SMG වර්ගයේ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක්, එම අවියට යොදන පතරොම් ගැබ් දෙකක්, අවියට භාවිතා කරන 9MM වර්ගයේ ජීව පතරොම් 10 ක් සහ T56 වර්ගයේ ගිනි අවියක යකඩ බට් කොටසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

තවද සැකකරුගේ ප්‍රකාශ මත අනාවරණය කරගත් කරුණු අනුව එම නිවසේ තිබී කේරළ ගංජා කිලෝ 67 යි ග්‍රෑම් 570ක්, විද්‍යුත් තරාදියක්, ගුවන් හමුදා නිළ ඇඳුමක කමීසයක්, යුද හමුදා නිලධාරීන් පලඳින බූට් සපත්තු යුගලක්, රවුටරයක්, යතුරුපැදියක්, ජංගම දුරකථන 03 ක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් හා තවත් දේපොළ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.