සයුරෙන් එතෙර
ඊශ්‍රායලය තමාව ඝාතනය කිරීමට උත්සාහ කළ බවට ඉරාන ජනාධිපතිගෙන් චෝදනා
July 8, 2025 04:52 pm
ඊශ්‍රායලය සමග පැවති දින 12 හේ යුද්ධයෙන් පසු ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් බටහිර මාධ්‍යයට ලබාදුන් ප්‍රථම සාකච්ඡාව සුප්‍රකට අමෙරිකානු මාධ්‍යවේදී ටකර් කාල්සන් විසින් ඊයේ ප්‍රසිද්ධියට පත්කර තිබේ.
භාෂා පරිවර්තකයෙකු හරහා ලබාදුන් එම සම්මුඛ සාකච්ඡාවේදී ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලය තමා ඝාතනය කිරීමේ උත්සාහයක නිරත වූ බවය.
තමා සාකච්ඡා පවත්වමින් සිටි ස්ථානයකට බෝම්බ හෙළීමෙන් ඔහු ඝාතනය කිරීමට ඊශ්‍රායලය උත්සාහ කළ බව ඉරාන ජනාධිපතිවරයා චෝදනා කළේය.
ඔහු ඝාතනය කිරීමට ඊශ්‍රායලය උත්සාහ දැරුවා ද යන්න පිළිබඳව ටකර් කාල්සන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් මේ බව පැවසුවේය.
ඔවුන් ඒ සඳහා උත්සාහ කළා සේම, ඒ අනුව කටයුතු කළත් බවත් එම උත්සාහයන් අසාර්ථක වූ බවත් ඉරාන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
එමෙන්ම තමා ඝාතනය කිරීමේ උත්සාහය අමෙරිකානු ප්‍රයන්තයක් නොවන බවත්, එය ඊශ්‍රායලයේ උත්සාහයක් බවත් ජනපති පෙසෙෂ්කියන් අවධාරණය කළේය.
ඉරාන ජනාධිපතිවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නේ පර්සියානු භාෂාවෙනි.
ඊශ්‍රායලයේ මෙම ඝාතන ප්‍රයන්තය පසුගියදා පැවති යුද්ධයේදි සිදුවූවාද යන්න ජනාධිපති පෙසෙෂ්කියන් පවසා නොමැත.
මේ අතර යේමනයේ හූති කැරලිකරුවන් රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ තවත් ග්‍රීක වෙළඳ නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එහිදී ඉටර්නටි - සී (ETERNATY C) නැමැති එම නෞකාවේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් තවත් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවත් වාර්තා වී ඇත.
යේමනයේ හොඳෙයිදා වරායට ඔබ්බෙන් වූ මුහුදේ දී හූති කැරලිකරුවන් ඊට පහරදී ඇත්තේ මුහුදු ඩ්‍රෝන් යානා උපයෝගී කරගනිමිනි.
රතු මුහුදේ නෞකාවක් ඉලක්ක කරගනිමින් හූති කැරලිකරුවන් පැය 24ක් තුළ එල්ල කළ දෙවැනි ප්‍රහාරය මෙය වේ.
ඩ්‍රෝන් ප්‍රහාරයක් සමග අධිවේගී බෝට්ටුවලින් පැමිණි හූති කැරලිකරුවන් රොකට් ලෝන්චර් යොදා ගනිමින් නෞකාවට දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇති බවද වාර්තා වී ඇත.
මෙම නෞකාවේ පිලිපීන නාවිකයන් 22 දෙනෙකු සහ ඉන්දිය සන්නද්ධ ආරක්ෂක භටයින් තුන්දෙනෙකු සිට තිබේ.
මෙම ප්‍රහාරයට පැය කිහිපයකට පෙර ග්‍රීසියට අයත් මැජික් සීස් නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව ප්‍රහාරයක් එල්ල කොට ගිල්වා දැමීමට හූති කැරලිකරුවන් සමත් වුණා.
ඊට ඩ්‍රෝන් යානා මිසයිල සහ RPG අවිවලින් පහර දුන්බවට ද වාර්ත වේ.
මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය අසලින් ගමන්ගත් වෙනත් නෞකාවකින් බේරාගෙන තිබුණි.