මදුරු මර්දන සතියේදී 3,812කට රතු නිවේදන

මදුරු මර්දන සතියේදී 3,812කට රතු නිවේදන

July 8, 2025   03:37 pm

පසුගිය සතියේ ක්‍රියාත්මක කරන ලද ජාතික මදුරු මර්දන සතියේදී දිවයින පුරා පරිශ්‍ර 144,250ක් පරීක්ෂාවට භාජනය කළ බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසයි.

එම සතියේ ක්‍රියාත්මක කරන ලද ජාතික මදුරු මර්දන සතියේ සමස්ත ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සම්බන්ධව අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව පැවසුවාය.

එහිදී විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ එම සතිය තුළදී මදුරුවන් බෝවිය හැකි යැයි හඳුනාගත් පරීශ්‍ර 35,495ක්ද හඳුනාගත් බවය.

එමෙන්ම මදුරු කීටයින් සහිතව පරීශ්‍ර 4,275ක් හඳුනාගත් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ මෙහිදී රතු නිවේදන 3,812ක් සහ නීතිමය ක්‍රියාමාර්ග 982ක්ද ගනු ලැබූ බවය.

එමෙන්ම මෙම මදුරු මර්දන සතියේදී පාසල්, රජයේ ආයතන, කර්මාන්ත ශාලා වැඩබිම්, ආගමික ස්ථානවල මදුරුවන් බෝ විය හැකි අවදානම් ස්ථාන ලෙසද හඳුනාගෙන තිබේ.

එහිදී පාසල් පරිශ්‍ර 400ක් නිරීක්ෂණය කළ බවත් එහිදී පාසල් 226ක මදුරුවන් බෝ විය හැකි ස්ථාන ලෙසද හඳුනාගෙන ඇත.

තවද ජාතික මදුරු මර්දන සතියේදී නිවාස 131,789ක් පරීක්ෂා කළ බවත් 31,967ක මදුරුවන් බෝ විය හැකි ස්ථාන ලෙසද හඳුනා ගෙන ඇති බවද විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

එමෙන්ම රජයේ ආයතන 955ක් පරීක්ෂා කළ බවත් ඉන් 292ක මදුරු කීටයින් බෝ විය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.

මේ අතර දිවයින පුරා ඩෙංගු රෝගීන් 30,228ක් සහ මරණ 16ක්ද වාර්තා වූ බවද විෂේශඥ වෛද්‍යවරිය මෙහිදී අනාවරණය කළේය.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වල මෙම ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ බවත් විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී අදහස් දක්වමින් පෙන්වා දුන්නාය.