සයුරෙන් එතෙර
ට්‍රම්ප්ගේ තර්ජනයට ලූලාගෙන පිළිතුරු-
July 8, 2025 03:22 pm
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වසරේ දියත් කළ වෙළෙඳ යුද්ධයේ නව අදියරකට පිවිසෙමින් රටවල් 14කට පනවන නව තීරුබදු සීමාවන් ප්‍රකාශයට පත් කර ඇත.
අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම වෙළඳ සහකරුවන් අතරට ගැනෙන දකුණු කොරියාව සහ ජපානයට 25%ක ඉහළ තීරුබද්දක් ලබන අගෝස්තු 01 වනදා සිට ගෙවීමට සිදුවන බව එම රටවල් වෙත ලිපි මගින් දැනුම් දී ඇත.
එහිදී මලයාසියාව, කසක්ස්ථානය සහ ටියුනීසියාව යන රටවලට ද නියම කර ඇත්තේ 25%ක තීරුබදු ප්‍රතිශතයකි.
බොස්නියා හර්ෂගොවිනාව සහ ට්‍රම්ප් පරිපාලනය නිරන්තර ගැටුම්වලට එළැඹී දකුණු අප්‍රිකාවට 30%ක තීරු බද්දක් පනවා තිබේ.
ඉන්දුනීසියාව 32%ක් ද, සර්බියාව සහ බංග්ලාදේශයට 35%ක් ද අන්‍යෝන්‍ය තීරු බදු පැනවීමට ජනපති ට්‍රම්ප් පියවර ගෙන ඇත.
එහිදී තායිලන්තයට සහ කාම්බෝජනයට 36%ක තීරුබදු පනවන බව ඔවුන්ට යැවූ ලිපි මගින් දැනුම්දී තිබුණි.
ලාඕසය සහ මියන්මාරය යන රටවලට 40%ක තීරු බද්දක් පනවන බව දැනුම්දී ඇත්තේ අප්‍රේල් 2 වැනිදා එම රටවල් දෙකට නියම කළ 44%ක සහ 48%ක තීරුබදු වෙනුවෙනි.
කාම්බෝජය වෙත අප්‍රේල් 2 වැනිදා පැනවූ 49%ක තීරුබද්ද 36% දක්වා පහත හෙලීම ද විශේෂත්වයකි.
අමෙරිකාව සමග ගනුදෙනු කරන අනෙකුත් රටවලට ද මෙලෙස තීරුබදු සීමාවන් ඇතුළත් ලිපි යැවීම සිදුකරන බව ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර තිබේ.
එහිදී කුඩා රටවල් සියයකට පමණ පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත් කළ තීරුබදු ප්‍රතිශතයක් එලෙසින්ම ක්‍රියාත්මක විය හැකි බවට ද අමෙරිකානු වානිජ ලේකම්වරයා ඉඟිකර තිබුණා.
කෙසේ නමුත් මෙලෙස දැනට ප්‍රකාශයට පත්කර ඇති තීරුබදු සීමාවන් අවසන් නිශ්චිත තීරුබදු සීමාව ද යන්න ස්ථිරවම කිව නොහැකි බව ජනපති ට්‍රම්ප් පැවසුවේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග නිල රාත්‍රී භෝජනයට එක්වෙමින් ජනපති ට්‍රම්ප් සඳහන් කළේ එය අවසාන තීරණය ලෙස හැඳින්විය හැකි වුවත්, වෙනත් එකඟතාවන් මගින් වෙනස්විය හැකි බවය.
පසුගිය අප්‍රේල් 2 වැනිදා ජනපති ට්‍රම්ප් විසින් 10% අවම සීමාවන් සහිතව ලොව සෑම රටකටම නව තීරුබදු සීමාවන් පැනවූවා.
පසුව එම අන්‍යෝන්‍ය තීරුබදු දින 90කට අත්හිටුවීමෙන් පසු එම කාලවිරාමය අවසන් වන්නේ ජූලි 9 වැනිදායි.
ජනපති ට්‍රම්ප් අමෙරිකාවේ ප්‍රධානතම වෙළඳ පාර්ශ්වකරුවන් දෙදෙනකු වන ජපානය සහ දකුණු කොරියාව 25%ක තීරුබදු පනවමින් යැවූ ලිපිවල සඳහන් කර ඇත්තේ කණගාටුදායක වුවත් එම අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමට සිදුවන බවය.
එමෙන්ම මෙම තීරුබදුවලට ප්‍රතිචාර දක්වමින් ප්‍රතිබදු පැනවීමට කිසියම් රටක් කටයුතු කළහොත් ඊට වඩා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවට ජනපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
කෙසේ නමුත් සිය තීරුබදු පැනවීම ක්‍රියාත්මකවීමේ දිනය අගෝස්තු 1 වැනිදා දක්වා දිගු කළ විධායක නියෝගයකට ද ජනපති ට්‍රම්ප් ඊයේ අත්සන් තබා ඇත.
එහෙත් ජූලි 9 වැනිදාට පෙර දින 90ක් තුළ ‘ඩීල් 90ක් ඇතිකරන බවට ප්‍රතිඥා දුන් ට්‍රම්ප් පරිපාලනයට එම කාලය තුළ නිශ්චිත එකඟතාවලට පැමිණීමට හැකිවුණේ බ්‍රිතාන්‍යය සහ වියට්නාමය සමග පමණකි.
ජනපති ට්‍රම්ප් පැනවූ 25%ක අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳව සිය කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කළ ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සඳහන් කළේ එම පියවර සත්‍ය වශයෙන් සෝචනීය බවය.
කෙසේ නමුත් මෙම රටවල් සියල්ල සමග තවදුරටත් සාකච්ඡා පැවැත්විය හැකිබව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
එහෙත් එමගින් ගෝලීය වෙළඳපොළ තුළ ඇතිවී තිබෙන අවිනිශ්චිතතාව දුරු කිරීමට හැකි වී නොමැත.
මෙම අන්‍යෝන්‍ය තීරුබදු මෝටර් රථ සහ වානේ සහ ඇලුමිනියම් වැනි කර්මාන්ත ක්ෂේත්‍රවලට පැනවූ තීරු බදු හා සම්බන්ධ කර නොතිබීම ද විශේෂත්වයකි.
එම බදු ක්‍රියාත්මක වන්නේ මෙම අන්‍යෝන්‍ය තීරුබදුවලට පරිබාහිරවයි.
උදාහරණයක් විදියට ජපාන මෝටර් රථ සඳහා අමෙරිකාව දැනට පනවා ඇති 25%ක තීරු බද්ද, දැන් පැනවූ 25%ක අන්‍යෝන්‍ය තීරු බද්ද හා එක්ව 50%ක් වන්නේ නැහැ.
එය පවතින්නේ 25%ක් ලෙසිනි.
ජනපති ට්‍රම්ප් විසින් තීරුබදු සීමාවන් ප්‍රකාශයට පත්කළ දකුණු කොරියාව සහ තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක්ම ට්‍රම්ප් පරිපාලනය සමග වෙළඳ සාකච්ඡා තීව්‍ර කිරීමට අපේක්ෂා කර ඇත.
මලයාසියාව සහ ඉන්දුනීසියාව ද ට්‍රම්ප් පරිපාලනය සමග තීරුබදු වෙනසක් ලබා ගතහැකි ද යන්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන රටවල් වේ.
30%ක තීරු බද්දක් පනවා ඇති දකුණු අප්‍රිකාවේ ජනපති සිරිල් රමෆෝසා ප්‍රකාශ කළේ අමෙරිකානු අපනයනවලින් 77%කට කිසිදු තීරුබද්දක් අය නොකරන සිය රටට එවැනි ඉහළ බදු අනුපාතයක් පැනවීම සාධාරණීයකරණය කළ නොහැකි බවය.
ජනපති ට්‍රම්ප් සිය තීරුබදු යුද්ධයේදී ඉලක්ක කරගන්නා තවත් කාණ්ඩයක් ලෙස බ්‍රික්ස් සංවිධානයේ රටවල් හඳුන්වා දිය හැක.
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවරට බ්‍රික්ස් රාජ්‍ය නායකයන් රැස්වී සිටින විට ට්‍රම්ප් එම රටවලට 10%ක අතිරේක තීරු බද්දක් පනවන බවට තර්ජනය කළේය.
ට්‍රම්ප් පරිපාලනය මෙහිදී බ්‍රික්ස් රටවලට 10%ක අතිරේක තීරු බද්දක් වහා පැනවීමක් සිදුනොකළත්, එහි සාමාජික රටවල් එකින් එක මෙහිදී සලකා බලන බව වාර්තා වේ.
එහිදී යම් රටක් අමෙරිකානු විරෝධී බවට ට්‍රම්ප් පරිපාලනය විසින් තීරණය කළහොත් අදාළ අතිරේක තීරු බද්ද පනවනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය.
ජනපති ට්‍රම්ප්ගේ තර්ජනය පිළිබඳව රියෝ බ්‍රික්ස් සමුළුව අවසානයේ අදහස් දැක්වූ බ්‍රසීල ජනාධිපති ලූලා ඩා සිල්වා සඳහන් කළේ ලෝකය වෙනස් වී ඇති අතර ඊට තවදුරටත් අධිරාජ්‍යයෙකු අවශ්‍ය නොවන බවය.
ආර්ථික අරමුණු උදෙසා වෙනස් මාර්ගයකට යොමුවීම බ්‍රික්ස් සංවිධානයේ අරමුණ බව ඔහු කියා සිටියේය.
ඇතැමුන් බ්‍රික්ස් නිසා අපහසුතාවට පත්ව ඇත්තේ ඒ නිසා බවත් බ්‍රසීල ජනාධිපතිවරයා සඳහන් කළේය.
අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට අභියෝග කළහොත් බ්‍රික්ස් සංවිධානයේ රටවලට 100%ක තීරු බදු පනවන බවට ජනාධිපති ට්‍රම්ප් පසුගිය පෙබරවාරියේ තර්ජනය කළේය.
කෙසේ නමුත් බ්‍රික්ස් සංවිධානය දැන් එවැනි පොදු විනිමය ඒකකයක් කරා යාම කල් දමා තිබේ.
එහෙත් ගෝලීය වෙළඳාමේදී අමෙරිකානු ඩොලරයට විකල්පයක් අවශ්‍ය වන බව ජනාධිපති ලූලා ඩා සිල්වා ඊයේ යළි අවධාරණය කළේය.
බ්‍රික්ස් සාමාජික රටවල් අතර වෙළඳ සබඳතා අමෙරිකානු ඩොලරය හරහා ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් බ්‍රසීල ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා ප්‍රකාශ කළේ බ්‍රික්ස් සංවිධානය වෙනත් කිසිදු බලවතෙකු සමග තරගයකට එළඹීමට අපේක්ෂා නොකරන බවය.
එමෙන්ම දකුණු අප්‍රිකාවට, අමෙරිකා එක්සත් ජනපදය සමග වෙළඳ එකඟතාවයකට පැමිණිය හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.
මේ අතර චීනය ගෝලීය සැපයුම් දාමයෙන් ඉවත් කිරීම සඳහා අමෙරිකාව සමග ගිවිසුම් ගතවන රටවලට චීනය අනතුරු ඇඟවීමක් කර ඇත.
එවැනි රටවලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව චීනය ප්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් සංවාදය සහ සහයෝගීතාව අර්බුද විසඳා ගැනීමේ නියම මඟ බව ද චීන රජයේ නිල පුවත්පත ‘පීපල්ස් ඩේලි‘ සිය කතුවැකියෙන් සඳහන් කර ඇත.
දැන් චීන අපනයනය සඳහා අමෙරිකානු තීරුබදු 51.1%ක සාමාන්‍යයක පවතින බවත්, අමෙරිකානු භාණ්ඩ සඳහා චීනයේ තීරුබදු 32.6%ක සාමාන්‍යයක පවතින බවත් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.