අල්ලස් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලොක්කෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලොක්කෙක් අත්අඩංගුවට

July 7, 2025   05:43 pm

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිලියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සිදුකළ පැමිණිල්ලකට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයේදී අද (07) පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

සැකකරු විසින් දෙමටගොඩ කොලොන්නාව පාරේ පවත්වාගෙන යන ආයතනයක මේ වර්ෂයට අදාළ බදු නිෂ්කාශන වාර්තාව නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ.

පසුව එම මුදල රුපියල් 50,000 දක්වා අඩුකර ඇති අතර ඉන් රුපියල් 42,000ක මුදලක් ඔහු විසින් පසුගිය 03 වනදින ලබා ගෙන ඇති බව සඳහන්ය.

ඉතිරි රුපියල් 8,000ක මුදල අද දිනයේදී ලබා ගැනීමට යාමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.