සීතාවක ප්‍රා.ස සභාපති තෝරාගැනීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමට නියෝගයක්

සීතාවක ප්‍රා.ස සභාපති තෝරාගැනීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමට නියෝගයක්

July 7, 2025   01:31 pm

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීමේ කටයුත්ත සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 09 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම අද (07) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

එම අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරයට අදාළව තම සේවා දායකයින් සීමිත විරෝධතා ගොනුකර තිබෙන බවය. 

එමෙන්ම සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා ඉකුත්දා පැවැති රැස්වීමට අදාළ කාර්ය සටහන් හා හඬ පට විරෝධතා සමග අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විරෝධතාවලට අදාළව ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මතුගම ප්‍රාදේශීය සභාව සඳහා ද වග උත්තරකාර පළාත් පාලන කොමසාරිස්වරිය රහස් ඡන්දයක් පැවත්වීමට කටයුතු කර ඇති බවත් ඊට අදාළ සටහන්ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.‍

එම අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ එම සටහන්ද තමන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

අදාළ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් නීතිඥ චාමර නානායක්කාරවසම් මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ  විරෝධතා ගොනු කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සියියේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 09 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේය.

අදාළ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුවන බවය. 

එසේ තිබියදී අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඉකුත් 17 වනදා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානයත්වයෙන් රැස්වීමක් පැවැති බවත් පෙත්සම්කරුවන් සඳහන් කළේය.

එහිදී අදාළ තෝරාගැනීම් සිදුකිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් වරිය තීරණය කළ අතර ඊට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරු 24 දෙනෙකු සභාවෙන් පිටව ගිය බවත් පෙත්සමේ සඳහන් වෙයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සභාවේ ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් අදාළ තෝරාපත් කර ගැනීම කල් දැමුනු බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

ඒ අනුව අදාල තනතුරුවලට තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් එය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මේ අතර මෙම කරුණට අදාළව සීතාවක ප්‍රදේශීය සභාව වෙනුවෙන් ගොනු කෙරුණු පෙත්සමද කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 09 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කරන ලදී.