ප්‍රසිද්ධ ජාතික පාසලක සා පෙළ සිසුවෙකු තවත් එම වසරේම සිසුවෙකුට පහරදීලා
July 7, 2025 07:39 am
බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේම තවත් සිසුවෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
පහරකෑමට ලක්වූ සිසුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 20 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.
පසුගිය 03 වන දා දහවල් 12.05ට පමණ සිසුන් තිදෙනෙකු සමග පැමිණි 11 ශ්‍රේණියේම සිසුවෙකු මෙම පහරදීම සිදුකර ඇති අතර, පහරදීමෙන් අදාළ සිසුවාගේ කනට හානි සිදුව තිබේ.
කෙසේවෙතත් මෙම පහරදීමෙන් කනට තුවාල සිදුව ඇති සිසුවාගේ දෙමාපියන් දැනුවත් කිරීමට හෝ පාසල විසින් අදාළ සිසුවා රෝහල්ගත කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වාර්තා වේ.
අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහල සඳහන් කළේ, අදාළ දරුවාව අද (07) දින ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බවය.
පහරකෑමට ලක්වූ දරුවාගේ දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් තලංගම පොලීසියේ පැමිණිල්ලක් ද යොමුකර ඇති අතර, ඔවුන් චෝදනා කර සිටින්නේ දරුවාට මෙවැනි බරපතළ පහරදීමක් පාසල් කාලය තුළ සිදුව ඇති පසුබිමක පාසල විසින් නිසි ලෙස දරුවා ප්‍රතිකාර වෙත යොමු කිරීමක් සිදුනොකිරීම වගකීම පැහැර හැරීමක් බවය.
පහරකෑමට ලක්වූ දරුවා සංගීත විෂයට දක්ෂ දරුවෙකු බවත් ඔහු ඔහුගේ කනට තුවාල සිදුවීම අනාගතයට බරපතළ ලෙස බලපෑම් එල්ල කරන බවත් සඳහන් කර සිටින එම දරුවාගේ මව නීතියෙන් තමාට සාධාරණය ඉල්ලා සිටින බව ද පැවසීය.
"අපිට වන්දි වැඩක් නෑ. මට ඕනේ නීතිමාර්ගයෙන් කටයුතු කරන්න, තව දරුවෙකුට මගේ පුතාට සිදුවු දෙය නොවෙන්න. මොකද ඔය වගේ වෙලාවක නිකමට පිහියෙන් හරි ඇන්නොත් මොකද වෙන්නේ මගේ පුතාට. ඒ නිසා මට ඕන නීතියෙන් කටයුතු කරන්න. මට සල්ලි වැඩක් නෑ. සාධාරණය තමා ඉටු වෙන්න ඕනේ."
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අදාළ පාසලේ විදුහල්පති තුමිය සඳහන් කළේ, පහරදීම සම්බන්ධයෙන් තමාට වාර්තා වුයේ පසුදා උදෑසන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පාසලෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.
"මම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත්. දරුවාට පිටතට භාහිර තුවාලයක් තිබුණේ නෑ. ඇත්තටම මම මේ පාසලට ඇවිල්ලා සතියක් වගේ වෙන්නේ. මේ සම්බන්ධයෙන් මම මුලින්ම ගුරුවරුන්ව දැනුවත් කිරීමේ මාර්ගෝපදේශන වැඩසටහනක් කරා දරුවන් සම්බන්ධයෙන්. ඊට අමතරව අද උදේ 11 පැයක වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා. පහරකෑමට ලක්වූ දරුවා වෙනුවෙන් පුජාවකුත් කරනවා."
ප්‍රශ්නය - පහරකෑමට ලක්වු දරුවා කන රිදෙනවා කියලා තියෙනවා නේද? ඇයි පාසලෙන් රෝහල්ගත කළේ නැත්තේ ?
"ඇත්තටම මට පහුවදා උදෑසන තමා ඒ ගැන වාර්තා වුණේ. ඒ අම්මා ඇවිල්ලා කිව්වහම තමා උදේ දන්නේ. එතකොට මම කිව්වා පාසලේ ත්‍රිවිල් රථයෙන් දරුවාව හොස්පිටල් යවමු කියලා. එයව ළමා රෝහලට භාරගන්න බෑ කිව්වහම පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර අරන් තිබුණා. ඊට පස්සේ දෙමාපියන් දෙගොල්ලෝම මම පාසලට ගෙන්නුවා. රැස්වීමක් අරන් මම මේ ගැන දැනුවත් කරලා අවවාද කරා. මම කණ්ඩායම් බෙදලා මේ වගේ දේවල් නැවත සිදුවුණොත් මේ ආකාරයෙන් කටයුතු කරන්න කියලා. මම ඊයේ හොස්පිටල් එකට කතා කරලා බැලුවා දරුවාට කොහොමද කියන එක. පහරදීම සිදුකරපු දරුවා සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා තියෙන්නේ."