මතභේදාත්මක නිවාස ව්‍යාපෘතියක් ගැන උකුස්සාගෙන් අනාවරණයක්
July 6, 2025 07:59 pm
නිසි අනුමැතීන් ලබාගැනීමකින් තොරව ඇරඹීමට සැලසුම් කර ඇති බව කියන නිවාස ව්‍යාපෘතියකට කොළඹ ලේක් ඩ්‍රයිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් විරෝධය පළ කර තිබේ.
අද දෙරණ උකුස්සාගේ අනාවරණය ඒ පිළිබඳවයි.
ජනගහන වර්ධනයත් සමඟ නිවාස ඉදිකිරීම සඳහා පවතින භූමිය සීමිත වෙමින් පවතියි.
සුඛෝපභෝගි මහල් නිවාස ඉදිකෙරෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
කෙසේවෙතත් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැක්කේ ඊට අවශ්‍ය නිසි අනුමැතීන් ගණනාවක් ලැබූ පසුවයි.
එවන් වාතාවරණයක කොළඹ 08 ලේක් ඩ්‍රයිව් ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති මහල් නිවාස සංකීර්ණයකට ප්‍රදේශවාසීන් විරෝධය පළ කර තිබේ.
ප්‍රසිද්ධ නිවාස ඉදිකිරීම් සමාගමක් එම ව්‍යාපෘතිය සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබුණා.
ඒ අනුව අද දෙරණ මෙම ව්‍යාපෘතිය දියත් කරන අදාළ නිවාස සමාගමෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු සඳහන් කළේ මෙය වසර කිහිපයක් තුළ නිසැක වශයෙන් නීත්‍යානුකූල අන්දමින් ඉදිවන මහල් 12ක නිවාස ව්‍යාපෘතියක් බවය.
කෙසේවෙතත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් ඇතුළු පාර්ශ්වයන් රැසකින් ලැබුණු තොරතුරු මත මෙම ඉදි කිරීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ අප නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසීමක් කළා.
එහිදී අපට වාර්තා වූයේ මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය , ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය , කොළඹ නගර සභාවේ මලපවාහන ඒකකය ඇතුළු අදාළ ආයතන 7 කින් නිසි අවසරය ලබාගැනීමේ පොරොන්දුව මත පදනම්ව පමණක් මෙම ව්‍යාපෘතිය සිදුකරගෙන යාමේ අවසර ගෙන ඇති බවය.
ඉන් ගම්‍ය වන්නේ කුමන හෝ ගැටලුවක් මත එකී අනුමැතීන් නොලැබුණහොත් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා නොහැකිව අතරමග ඇණහිටිනු ඇති බවයි.
එසේ නම් මෙය දැනටමත් ලැබී නොමැති අනුමැතියක් ලැබේයැයි සිතුවිල්ල මත ගැනුම්කරුවන් ඇපයට තබා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් බව අමුුතුවෙන් කිය යුතු නැහැ.
එමෙන්ම දැනටමත් කාර්යබහුල මාර්ගයක් වන - මෙම නිවාස ව්‍යාපෘතියේ පිවිසුම් මාර්ගය වන ලේක් ඩ්‍රයිව් මාවත සහ එහි යටිතල පහසුකම් මෙවැනි ව්‍යෘපෘතියක් සඳහා ප්‍රමාණවත්ද යන්න මෙහිදී පැන නගින සාධාරණ ගැටලුවකි.
නමුත් අවාසනාවන්ත තත්ත්වය නම් තවමත් මෙම ප්‍රසිද්ධ නිවාස වෙළෙඳාම් සමාගම මෙම කිසිදු ආයතනයකින් අවසර ලබාගැනීම සඳහා අප සොයාබැලීම කරන අවස්ථාව වන විටත් ඉල්ලීමක් හෝ කර නොතිබිමයි.
නිසි අවසර ලබාගැනීමක් නොමැතිව, ඉදිකිරීම් කටයුතු අවනිශ්චිත තත්ත්වයේ පසුවන මෙවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රචාරණ කටයුතු සිදුකිරීම රටේ ජනතාව මුළා කිරීමක් නොවේද?