උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීමට අවස්ථාව
July 2, 2025 12:21 pm
උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාලයක හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව " ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් - දියුණු මානව සම්පතක්" නිර්මාණය කිරීමේ අරමුණ යථාර්ථවත් කිරීම උදෙසා උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාවල හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස 2025 අයවැය යෝජනාවක් මඟින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන්කර ඇති බව රජය පවසයි.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අන්තර්ජාතික විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් දර්ශකයන්හි පළමු ස්ථාන 500 අතර පවතින, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකෙරෙන විදේශීය විශ්වවිද්‍යාල වෙතින් උපරිම වසර 04ක් සඳහා උපාධි පාඨමාලා සම්පුර්ණ කිරීමට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට යෝජිතය.
එම වැඩසටහන මඟින් පස් අවුරුදු සැලැස්මක් යටතේ සිසුන් 200ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි ප්‍රථම අදියර යටතේ 2025 වසර සඳහා සිසුන් 20ත් 50ත් අතර සංඛ්‍යාවක් තෝරා ගැනීමට අපේක්ෂිතය.
අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රධාන විෂය ධාරාවන් යටතේ ඉහළම ඉසෙඩ් අගය (z – score) සහිත සිසුන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දෙනු ලබයි.
එකී අයදුම්පත් අතරින් සුදුසු සිසුන් තෝරා ගැනීම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සහ ආචාර්යවරුන්ගෙන් සමන්විත ප්‍රවීණ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් සිදුකරනු ලබයි.
ඒ අනුව, යෝජිත ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.